කොකා-කෝලා පදනමේ අනුග්‍රහයෙන් ජල විදුලියෙන් ක්‍රියාත්මක පළමු ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. පුනර්ජනනීය බලශක්තිය, ප්‍රතිචක්‍රීයකරණය, ග්‍රාමීය ජීවනෝපාය මාර්ග නංවාලීම සහ පරිසර සංරක්ෂණය යන සියලු අංශ එක්තැන් කරමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ ස්ථාපිත කර ඇති Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය (MCPC), මුළුමනින්ම ජල විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙරට ප්‍රථම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයයි. ශ්‍රී ලංකාවේ අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කාන්තා හා තරුණ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ ‘SWYFT’ ව්‍යාපෘතිය යටතේ මෙම මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත. කොකා-කෝලා පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ Janathakshan ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers කටයුතු කරයි. පිරිසිදු බලශක්තිය සහ සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික සංවර්ධනය සමග අපද්‍රව්‍ය කළමනාකරණය සාර්ථකව ඒකාබද්ධ කළ හැකි ආකාරය පිළිබඳව කදිම ආදර්ශයක් මෙම මධ්‍යස්ථානය මඟින් සපයයි.

මෙම මධ්‍යස්ථානයේ සියලු මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය බලශක්තිය නානුඔය ගංගාව ආශ්‍රිතව පිහිටි කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයකින් සපයා ගැනේ. එමෙන්ම, අවට ප්‍රදේශවලින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා යොදාගන්නා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ සහ බයිසිකල් charge කිරීම සිදු කෙරෙන්නේද මෙම පුනර්ජනනීය බලශක්තියෙනි. අපද්‍රව්‍ය එකතු කිරීමේ සිට ඒවා සැකසීම දක්වා වන සමස්ත ක්‍රියාවලියටම මෙලෙස හරිත බලශක්තිය මුසු කිරීම හරහා කාබන් පියසටහන අවම වන අතර, පරිසර හිතකාමී ලෙස චක්‍රීය ආර්ථික පද්ධති නිර්මාණය කළ හැකි ආකාරය මෙයින් මනාව පෙන්නුම් කරයි.

පාරිසරික වශයෙන් අතිශය වැදගත් නුවරඑළිය කඳුකර කලාපයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය, හුදෙක් ප්‍රතිචක්‍රීයකරණයෙන් එහා ගිය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලබයි. නුවරඑළිය, නානුඔය, ආගරපතන, තලවකැලේ, රම්බොඩ සහ හැටන් යන ප්‍රදේශවලින් එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම වළක්වාලීම හරහා, දේශීය ජල මූලාශ්‍ර සහ ඉහළ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට මෙමඟින් විශාල දායකත්වයක් ලබා දේ. කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන මෙම මධ්‍යස්ථානයට මසකට ප්ලාස්ටික් බෝතල් මෙට්‍රික් ටොන් 3ක් පමණ ප්‍රතිචක්‍රීයකරණය සඳහා සකස් කිරීමේ ධාරිතාවක් පවතින අතර, එය ප්‍රදේශයේ අවිධිමත් කසළ එකතු කරන්නන් 10කට වැඩි පිරිසකගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීමටද උපකාරී වේ.
“තිරසාර සංවර්ධන අරමුණු වඩාත් සාර්ථක කරගත හැක්කේ දේශීය ප්‍රජාව සහ අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ ජාලය එකිනෙක අත්වැල් බැඳගැනීමෙන් බව Somerset ECO මධ්‍යස්ථානය මඟින් මනා ලෙස පැහැදිලි වෙනවා,” යනුවෙන් කොකා-කෝලා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා පැවසීය.

”පුනර්ජනනීය බලශක්තිය, වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය, ජීවනෝපාය මාර්ග උත්පාදනය සහ දේශීය සහයෝගීතාවය එකම ව්‍යාපෘතියක් යටතට ගෙන එමින් ශ්‍රී ලංකාවට ගැළපෙන චක්‍රීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීමට අපට හැකිවී තිබෙනවා. ප්‍රජාවට මෙන්ම පරිසරයටද දිගුකාලීන වටිනාකමක් එක්කරන මෙවැනි තිරසාර විසඳුම් වෙනුවෙන් සහාය දැක්වීමට ලැබීම පිළිබඳව කොකා-කෝලා පදනම නිහතමානීව ආඩම්බර වනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“Somerset Eco MCPC මධ්‍යස්ථානය යනු පුනර්ජනනීය බලශක්තිය, චක්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රජා සබල ගැන්වීම ඒකාබද්ධ කිරීම වෙනුවෙන් අප දක්වන කැපවීම මනාව පිළිබිඹු කරන්නක්. මේ හරහා, පාරිසරික වශයෙන් සංවේදී ඉහළ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන අතරම, පරිසරයට සහ සමාජයට දිගුකාලීන වටිනාකමක් එක් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා,” යනුවෙන් තලවකැලේ වතු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා සඳහන් කළේය.

මෙරට ජනතාවගේ ශක්තිමත්ව නැගී සිටීමේ හැකියාව සහ තිරසාර පාරිසරික සංවර්ධනය උදෙසා කොකා-කෝලා පදනම දිගුකාලීනව දක්වන කැපවීම මෙමඟින් තවදුරටත් තහවුරු වේ. මීට පෙර ඇති කරගත් හවුල්කාරිත්වයන් හරහා ජල මූලාශ්‍ර සුරැකීම, ජීවනෝපාය මාර්ග නැංවීම සහ කාන්තා සවිබල ගැන්වීම් සඳහා කොකා-කෝලා පදනම සහයෝගය ලබා දී ඇත. එමෙන්ම, Janathakshan සමඟ වන හවුල්කාරිත්වය හරහා අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන් දිරිමත් කිරීමටත්, PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමටත් සුවිශේෂී අවධානයක් යොමුකර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ අංශය තුළ කාන්තා සහ තරුණ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ (SWYFT) ව්‍යාපෘතිය යටතේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කර ඇත. රදැල්ල සමර්සෙට් මධ්‍යස්ථානය යනු එම සාර්ථක ආකෘතියේ ඊළඟ පියවරයි. එහිදී හුදෙක් ප්‍රතිචක්‍රීයකරණ යටිතල පහසුකම් සැපයීමට පමණක් සීමා නොවී, පිරිසිදු බලශක්තිය උපයෝගී කරගනිමින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය සඳහා සකස් කිරීම සිදුකරන මෙන්ම නව ආර්ථික අවස්ථා උදාකරන ඒකාබද්ධ පද්ධතියක් නිර්මාණය කර ඇත.

Janathakshan ආයතනයට අනුව, මෙම ව්‍යාපෘතිය යනු පරිසර සංරක්ෂණය සහ ප්‍රජා ජීවනෝපාය මාර්ග එකිනෙක යා කෙරෙන, දේශීය ප්‍රජාව මූලික කරගත් පොදු වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමේ තවත් වැදගත් ඉදිරි පියවරකි. Janathakshan හි ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජනක හේමතිලක මහතාගේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රජාවන්ගේ ශක්තිමත්ව නැගී සිටීමේ හැකියාව මෙන්ම සියල්ලන් ඇතුළත් කරගත් තිරසාර සංවර්ධනයක් උදාකිරීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකයට නව ජීවයක් දෙමින් අප සංවිධාන අඛණ්ඩව කැපවී සිටී.

சர்வதேச நம்பிக்கை தினமும், மனித நேயத்தைப்...
சர்வதேச இளைஞர் தினம்: சமூக ஊடகங்கள்...
තීරුබදුවලින් ඔබ්බට, ශ්‍රී ලංකාවේම දේශසීමා...
Sunshine Medical Devices supports Sri...
Dr. Ruwan Perera’s 250+ Japanese...
Little Japan திட்டத்தின் கீழ் 250...
සදාහරිත දිඹුල තේ රසය –...
Samsung Galaxy Z Fold8 Series...
Little Japan திட்டத்தின் கீழ் 250...
සදාහරිත දිඹුල තේ රසය –...
Samsung Galaxy Z Fold8 Series...
කොකා-කෝලා පදනමේ අනුග්‍රහයෙන් ජල විදුලියෙන්...