මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ.
මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්‍රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ රථ ඇතුළු ටොයෝටා සන්නාමයට අයත් සියලුම වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගත හැකිය. මේ සඳහා දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක ඔස්සේ නම්‍යශීලී මූල්‍ය විසඳුම් සමඟින් සුවිශේෂී ප්රතිලාභ රැසක් පාරිභෝගිකයින්ට හිමි වේ.
මෙම විශේෂ වැඩපිළිවෙළ යටතේ මගී මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන්ම සුවිශේෂී පොලී අනුපාත හඳුන්වා දී ඇත. මීට අමතරව, පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කළ ලීසිං (structured leases) ක්‍රමවේද යටතේ ලියාපදිංචි නොකළ වාහන සඳහා විශේෂ සහන මෙන්ම නම්‍යශීලී අවශේෂ වටිනාකම් (residual value) විකල්පද හිමි වේ. ඒ අනුව සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ට 50% දක්වා ඉහළ අවශේෂ වටිනාකමක් සහිතව මෙම ලීසිං පහසුකම් ලබාගත හැකිය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා සඳහන් කළේ, “අපගේ මූලිකම අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට උපරිම මූල්‍ය නිදහසක් සලසාලමින්, වාහන හිමිකාරිත්වය වඩාත් පහසු සහ සහනදායී අත්දැකීමක් බවට පත් කිරීමයි. මෙම සුවිශේෂී සබඳතාව ඔස්සේ නම්‍යශීලී මූල්‍ය ක්‍රමවේද මෙන්ම ප්‍රායෝගික ප්රතිලාභ රැසක් එකම වහලක් යටින් පාරිභෝගිකයා වෙත සමීප කෙරෙනවා. ඒ නිසා තම පෞද්ගලික අවශ්‍යතාවලට හෝ ව්‍යාපාරික දියුණුව වෙනුවෙන් වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට ඉහළ විශ්වාසයකින් යුතුව තමන්ට වඩාත්ම ගැළපෙන හොඳම විකල්පයන් තෝරා ගැනීමට මින් අවස්ථාව ලැබෙනවා,” යනුවෙනි.
මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට ලැබෙන වටිනාකම තවත් ඉහළ නංවමින්, පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කළ නොමිලේ පිරිනමන HNB ක්‍රෙඩිට් කාඩ්පතක් ද මෙහිදී හිමි වේ. මීට අමතරව, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් සුවිශේෂී වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික ලබා දීමටද කටයුතු යොදා ඇත. මෙම විශේෂ ප්රතිලාභ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක ජාලය පුරාම ක්‍රියාත්මක වේ.
ටොයෝටා ලංකා සමාගමේ ‘Mobility for All’ යන දැක්ම පෙරදැරි කරගනිමින්, මෙරට ජනතාවට වාහන හිමිකාරිත්වය වඩාත් සමීප කරවීමේ අරමුණින් HNB සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ටොයෝටා මගී සහ වාණිජ රථ වාහන සඳහා වඩාත් නම්‍යශීලී සහ සහනදායී මූල්‍ය විසඳුම් ලබා දීම මගින්, මෙරට පුද්ගලයින්ට, පවුල්වලට මෙන්ම ව්‍යාපාරිකයින්ට තම ජීවන මට්ටම සහ වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීම අපගේ බලාපොරොත්තුවයි. පාරිභෝගික පහසුව ඉහළ නැංවීමට සහ ජනතාවට මෙම ප්‍රවාහන පහසුකම්වල ප්රතිලාභ රැගෙන යාමට අප ආයතන දෙකෙහිම ඇති ඒකායන අරමුණ මෙම හවුල්කාරිත්වය මගින් මනාව පෙන්නුම් කරනවා.” යනුවෙන් ටොයෝටා ලංකා පුද්. සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරළ මහතා පැවසුවේය.





