වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනයට නව සභාපතිගෙන් ප්‍රධාන කරුණු 5කින් සමන්විත නව සැලසුමක්

Share

Share

Share

Share

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කෙරිණි.

සැප්තැම්බර් 19 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය මෙම පත්වීම් සිදු කෙරුණි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර මහතාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය ද මෙම උත්සවයට හිමි විය.

නව සභාපතිවරයා ලෙස සිය මංගල දේශනය පවත්වමින් ශානක සමරදිවාකර මහතා, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය යළි ශක්තිමත් කිරීම සඳහා අගය එකතු කිරීම, පර්යේෂණ හා සංව¾ධනය, ඉඩම් භාවිතය හා ඵලදායිතාව, වාරිමා¾ග සංවර්ධන සහ දිගුකාලීන ඉඩම් භුක්ති සුරක්ෂිතතාව යන ක්ෂේත්‍ර පහ කේන්ද්‍ර කරගත් පංචවිධ පුනර්ජීවන දැක්මක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂික¾මාන්තයේ අනාගතය තීරණය වන්නේ ක¾මාන්තයේ සියලු පාර්ෂව කොතරම් ඵලදායී ලෙස එකට කටයුතු කරන්නේද යන්න මත බවද ඔහු සඳහන් කළේය. ඒ සමඟම, නිෂ්පාදකයන් භූමියේ මුහුණ දෙන සැබෑ අභියෝග සහ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ප්‍රතිපත්ති හා කර්මාන්ත තීරණ ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

2025 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයන පරිමාවෙන් 50% කට වැඩි ප්‍රමාණයක් අගය එකතු කළ තේ නිෂ්පාදනවලින් සමන්විත වී තිබේ. එම අපනයන පරිමාවේ සැලකිය යුතු කොටසකට කලාපීය වැවිලි සමාගම් (RPCs) දායක වී ඇති බව සමරදිවාකර මහතා පැවසීය.

අඛණ්ඩ ආයෝජන හරහා එම සමාගම් අගය එකතු කළ තේ නිෂ්පාදනය පුළුල් කර ඇති අතර, මෑතකදී මැචා තේ, හරිත තේ සහ විශේෂිත අත්කම් තේ (artisanal teas) වැනි ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන කාණ්ඩ වෙතද වැඩි අවධානයක් යොමු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවේ ඉහළ වටිනාකමක් සහිත තේ නිෂ්පාදන කාණ්ඩය ආරක්ෂා කර සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ අපනයන ක්ෂේත්‍රයේ සහාය අවශ්‍ය බව ශානක සමරදිවාකර මහතා අවධාරණය කළේය. දේශීයව නිෂ්පාදනය කරන හරිත තේ සහ අනෙකුත් ඉහළ වටිනාකම් තේ වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් වෙන්දේසිවල අලෙවි නොවී ඉතිරි වන අතර, ඒ අතරතුර සමාන නිෂ්පාදන රට තුළට පැමිණීම පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.

“මෙම තත්ත්වය බලධාරීන් විසින් නැවත සමාලෝචනය කර, දේශීය නිෂ්පාදනය සහ අගය එකතු කිරීම ආරක්ෂා කිරීමට හා දිරිගැන්වීමට සුදුසු පියවර ගනු ඇතැයි අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා,” යැයි ඔහු සඳහන් කළේය.

පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරදිවාකර මහතා පැවසුවේ, වගා ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන නිෂ්පාදන කිහිපයකට වාණිජ වශයෙන් භාවිත කළ හැකි විකල්ප තවමත් සීමිත බවයි. ඒ අනුව, තේ, රබර් සහ පොල් පර්යේෂණ ආයතන විසින් විද්‍යාත්මකව තහවුරු කළ, ප්‍රායෝගිකව භාවිත කළ හැකි විකල්ප සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ භූමිකාව භාරගත යුතු බව ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන් රබර් කර්මාන්තයට තර්ජනයක් වන රෝග තත්ත්ව සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය. “කෝපි වගාවට රෝග ව්‍යාප්තියෙන් සිදු වූ විනාශය වැනි අත්දැකීමක් නැවතත් අපට දරාගත නොහැකියි,” යැයි සමරදිවාකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉඩම් භාවිත ප්‍රතිපත්ති සහ ඵලදායිතාව පිළිබඳ අදහස් දක්වමින් ශානක සමරදිවාකර මහතා පැවසුවේ, වෙනස් වන වර්ෂාපතන රටාවන්ට ප්‍රතිචාර දක්වමින් කලාපීය වැවිලි සමාගම් (RPCs) වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ සිය වගා කටයුතු විවිධාංගීකරණය කර ඇති බවයි. ඒ අනුව ඔයිල් පාම්, ගම්මිරිස් සහ අලිගැටපේර වැනි විකල්ප වගාවන් සඳහාද ආයෝජනය කර තිබේ.

කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය සහයෝගය නොමැතිවීම, කෘෂිකාර්මික සොරකම් සහ වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි හේතුවෙන් එම ආයෝජන වැඩි අවදානමකට ලක්වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. වගා හා දේපළ ආරක්ෂා කිරීම සඳහා සමාගම්වලට සෑම මසකම රුපියල් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

“මෙම ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය නියාමන ප්‍රතිසංස්කරණ සිදුකිරීම සහ කෘෂි භූමිය ආශ්‍රිතව සිදු කෙරෙන සොරකම් මෙන්ම වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පාලනය කිරීමට ඵලදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි,” යැයි සමරදිවාකර මහතා පැවසීය.

වාරිමාර්ග සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ඔහු රජයෙන් ඉල්ලා සිටියේ භූගත ජලය භාවිතය සම්බන්ධයෙන් පවතින යල්පැනගිය සීමා ලිහිල් කර, නළ ළිං කැණීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කරන ලෙසයි. වෙනස් වන දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීමට එවැනි පියවර වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

වැවිලි සමාගම්වල දිගුකාලීන ඉඩම් බදු අයිතිය පිළිබඳ අවිනිශ්චිතතාවද කර්මාන්තයට බරපතළ අභියෝගයක් බව ඔහු සඳහන් කළේය. නැවත වගා කිරීමෙන් සැලකිය යුතු ආදායමක් ලැබීමට බොහෝවිට වසර දහයකටත් වැඩි කාලයක් ගතවන අතර, බදු කාලය දීර්ඝ කිරීම පිළිබඳ නිශ්චිතභාවයක් නොමැතිවීම හේතුවෙන් විදේශ සෘජු ආයෝජන සහ දිගුකාලීන මූල්‍ය පහසුකම් ආක¾ෂණය කර ගැනීම දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

“නව ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමටත්, නැවත වගා කිරීම වේගවත් කිරීමටත්, වැවිලි නවීකරණය කර ඵලදායිතාව ඉහළ නැංවීමටත් අපට අවශ්‍ය නම්, ඉඩම් භාවිත අයිතිය සම්බන්ධයෙන් දිගුකාලීන සුරක්ෂිතතාව සහ නිශ්චිතභාවය අත්‍යවශ්‍යයි,” යැයි සමරදිවාකර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, වැවිලි ක¾මාන්තය ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය තවදුරටත් නිෂ්පාදන ප්‍රමාණය පමණක් නොවන බවයි.

“අද අප විමසිය යුත්තේ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද යන්න පමණක් නොව, එය කොතරම් කාර්යක්ෂමව නිෂ්පාදනය කරනවාද, කොපමණ අගයක් නිර්මාණය කරනවාද සහ තවත් වසර 10කින් හෝ 20කින් ගෝලීය වෙළෙඳපොළ තුළ අප කොතරම් තරඟකාරී වනවාද යන්නයි,” යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන ආදායම 2024 වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 සිට 2025 වසරේදී ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බවද ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව පාරිසරික ගැටලුවක් පමණක් නොව, ආර්ථික හා ආයෝජන ගැටලුවක් ලෙසද සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය. නැවත වගා කිරීම, වගා පුනරුත්ථාපනය සහ වාරිමා¾ග සංවර්ධනය සඳහා ව්‍යුහගත දිගුකාලීන මූල්‍ය පහසුකම් අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේම, වැවිලි කර්මාන්තය නිෂ්පාදන පරිමාව වැඩි කිරීමේ ප්‍රවේශයෙන් ඉවත් වී වැඩි අගය නිර්මාණය කරන නිෂ්පාදන හා සේවා වෙත යොමුවිය යුතු බවද ඔහු සඳහන් කළේය. වතු සංචාරක ව්‍යාපාරය වැවිලි සමාගම්වල ආදායම් මා¾ග විවිධාංගීකරණය කළ හැකි නව අවස්ථාවක් ලෙසද ආචාර්ය වීරසිංහ මහතා හඳුන්වා දුන්නේය.

මේ අතර, තනතුරින් නික්ම යන හිටපු සභාපති සුනිල් පොහොලියද්ද මහතා සංගමයේ ක්‍රියාකාරීත්වය සහ කලාපීය වැවිලි සමාගම් ක්ෂේත්‍රයේ පසුගිය දශක තුනක පරිව¾තනය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, සංගමයට අයත් කලාපීය වැවිලි සමාගම් 23ක් තේ, රබර්, ඔයිල් පාම්, පොල් සහ අනෙකුත් වගාවන් ඇතුළුව හෙක්ටයාර 154,000කට ආසන්න භූමි ප්‍රමාණයක් කළමනාකරණය කරන බවයි.

1995 වසරේදී රුපියල් බිලියන 8ක්ව පැවති මෙම සමාගම්වල ප්‍රාග්ධන පදනම මේ වන විට රුපියල් බිලියන 108ක් දක්වා වර්ධනය වී ඇති බවද ඔහු පැවසීය. එම කාලය තුළ නැවත වගා කිරීම, යාන්ත්‍රීකරණය සහ කර්මාන්තශාලා සංවර්ධනය සඳහා රුපියල් බිලියන 290කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇති බවද පොහොලියද්ද මහතා සඳහන් කළේය.

ඉදිරි අභියෝග පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ශ්‍රම හිඟය, නිෂ්පාදන යෙදවුම් පිරිවැය ඉහළ යාම, දේශගුණික විපර්යාස, සීමිත යාන්ත්‍රීකරණය සහ දිගුකාලීන ඉඩම් භාවිත අයිතිය පිළිබඳ අවිනිශ්චිතතාව වැවිලි කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර වන බවයි. වැවිලි ප්‍රදේශවල මේ වන විට සේවයේ නිරත කම්කරුවන් සංඛ්‍යාව 88,500කට ආසන්න වන අතර, එය වැවිලි ප්‍රජාවේ නේවාසික ජනගහනයෙන් 10% කට පමණක් සීමා වන බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, වැටුප් සංශෝධන සිදුකිරීමේදී ඵලදායිතාව සමඟ සම්බන්ධ වූ රැකියා හා වැටුප් ආකෘති පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පොහොලියද්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැවිලි ප්‍රදේශවල ලක්ෂ දහයකට වැඩි ජනතාවක් ජීවත් වන පසුබිමක, වැවිලි කර්මාන්තය පරම්පරා ගණනාවක් තිස්සේ එම ප්‍රජාවන්ගේ ජීවනෝපාය, රැකියා සහ සමාජ සුබසාධනය සමඟ සමීපව බැඳී ඇති ක්ෂේත්‍රයක් ලෙස තවදුරටත් වැදගත් භූමිකාවක් ඉටු කරයි. සිය අවසන් අදහස් දක්වමින් නව සභාපති ශානක සමරදිවාකර මහතා සඳහන් කළේ, ඉදිරි පරම්පරා සඳහාද ආයෝජන ආකර්ෂෂණය කරගත හැකි, ඵලදායි, තිරසර සහ ගෝලීය වශයෙන් තරඟකාරී වැවිලි ක¾මාන්තයක් ගොඩනැගීම සඳහා ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කැපවී සිටින බවයි. ඒ සඳහා රජය සහ අනෙකුත් පාර්ෂවකරුවන් සමඟ සාධනීය හා අඛණ්ඩ සංවාදයක් පවත්වාගෙන යමින් ක්ෂේත්‍රයේ දිගුකාලීන සංව¾ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ආයෝජන පරිසරය ගොඩනැගීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ජොන් කීල්ස් පදනම සහ City...
Mount Lavinia வில் 61ஆவது காட்சியகத்தைத்...
Sumathi IT Marks 25 Years...
වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනයට නව සභාපතිගෙන්...
172ஆவது வருடாந்திர பொதுக்கூட்டத்தில், இலங்கை முதலாளிமார்...
மோட்டார் சைக்கிள் ஓட்டுநர்களின் பாதுகாப்பை உறுதி...
May the Odds Be Ever...
நடனக் கலைஞர் சன்ன விஜேவர்தன Diabetasol...
மோட்டார் சைக்கிள் ஓட்டுநர்களின் பாதுகாப்பை உறுதி...
May the Odds Be Ever...
நடனக் கலைஞர் சன்ன விஜேவர்தன Diabetasol...
කලාශූරී චන්න විජේවර්ධන Diabetasol සන්නාම...