බළලුන් ඇති කරන ඕනෑම අයෙකු තම නිවස පාලනය කරන්නේ කවුදැයි හොඳින්ම දනී. අයිතිකරුගේ දෛනික කාලසටහන කුමක් වුවත්, බළලුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමට ඔවුන්ට සිදුවේ. බළලුන්ගේ මෙවැනි මුරණ්ඩු හැසිරීම් ඉවසා සිටීමට වුවද හිමිකරුවන් පසුබට නොවන්නේ, මෙම කුඩා සතුන් මිනිස් ජීවිතවලට සැනසීම සහ මානසික සහනය සමීප කරන බැවිනි.
ශ්‍රී ලංකාව තුළ දහස් සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ‘’CocoBunny Family’’ TikTok පිටුව නිර්මාණය වන්නේ ද මෙම අපූර්ව බැඳීම පදනම් කරගනිමිනි. ආදිත්‍ය උපුල් ඉන්ද්‍රජිත් සහ රුවන්ති රත්නායක යන අඹුසැමි යුවළ විසින් මෙහෙයවනු ලබන මෙම පිටුව, බළලුන් හඳුන්වනු ලබන්නේ ‘’පුරුපුරුවෝ” යන ආදරණීය නාමයෙනි. බළලුන්ගේ විනෝදජනක හැසිරීම්, සත්ව සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම්, සතුන් මුදාගැනීමේ වීඩියෝ සහ සත්ව හිමිකරුවන්ට පොදු වූ අත්දැකීම් ඔවුන් සිය නිර්මාණ හරහා සමාජගත කරයි.
මෙම වීඩියෝ කලාවෙන් ඔබ්බට ගිය, බොහෝ දෙනෙකු නොදන්නා සුවිශේෂී කතාවක් ද මෙහි ඇත. එනම්, මහමඟ අතහැර දමා සිටියදී ඔවුන් විසින් බේරාගත් බළල් පැටවුන් දෙදෙනෙකු මෙම යුවළගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවයි. අද වන විට ඔවුන් සිදුකරනුයේ ශ්‍රී ලංකාව තුළ සතුන් කෙරෙහි දයාව, කරුණාව සහ මනුෂ්‍යත්වය ප්‍රවර්ධනය කරන උදාර සමාජ මෙහෙවරකි.
ආදිත්‍ය සහ රුවන්ති විසින් අනාථ වී සිටි ‘කොකෝ‘ සහ ‘බනී‘ නම් වීදි බළලුන් දෙදෙනෙකු ඇසුරෙන් අරඹන ලද CocoBunny Family TikTok පිටුව, අද වන විට ශ්‍රී ලංකාව පුරා සිටින බළල් හිමිකරුවන් දැනුවත් කරන සහ වීදි සතුන් හදා වඩා ගැනීමට දිරිගන්වන අධ්‍යාපනික අවකාශයක් බවට පත්ව තිබේ. වීඩියෝ දර්ශන හරහා විනෝදාස්වාදය සැපයීමට අමතරව, සතුන් නිවැරදිව පෝෂණය කිරීම සහ රැකබලා ගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින්, සතුන් අතහැර දැමීම වැළැක්වීමේ මෙහෙවරක ඔවුහු නිරත වෙති. වැඩි විස්තර සඳහා CocoBunny Family සමාජ මාධ්‍ය පිටුවට පිවිසෙන්න.
CocoBunny Family සමාජ ජාලා එකමුතුවක් බවට පත් කිරීමට TikTok දායක වූ අයුරු
කෝකෝ සහ බනී මෙම කතාවේ පණිවිඩය සමාජය අතරට පුළුල්ව රැගෙන යාමටත්, මිනිසුන් අතර ප්‍රබල බැඳීමක් ඇති කිරීමටත් මහෝපකාරී වූයේ TikTok අවකාශයයි. මෙම වෙනස ඔවුන්ගේ සමස්ත ගමන් මඟම වෙනස් කළ බව අඹුසැමි යුවළ පවසති. ”අපගේ කතාව සමාජය සමඟ බෙදාගනිමින් ඉදිරියට යාමට ලැබුණු ලොකුම ශක්තියක් තමයි TikTok. ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් වර්ධනය වන මෙම ජාලයේ ප්‍රේක්ෂකයන්ගෙන් අප බලාපොරොත්තු නොවූ මට්ටමේ ඉහළ සහයෝගයක් ලැබුණා,” යැයි ඔවුහු සඳහන් කරති. බොහෝ දුරට, TikTok යනු කොකෝබනී පවුලට හුදෙක් වීඩියෝ පළ කරන පිටුවක් පමණක් නොවීය.
එය කරුණාව, නිසි මඟපෙන්වීම, පොදු අත්දැකීම් සහ සතුන් කෙරෙහි ඇති ලැදියාව ඔස්සේ නන්නාඳුනන මිනිසුන් එකට යා කළ පාලමක් බඳු විය. සෑම විනෝදජනක ‘’පුරුපුරුවෝ’’ වීඩියෝවක් සහ අදහස් දැක්වීමක් පිටුපසම දයාව, ඉවසීම, වගකීම සහ මනුෂ්‍යත්වය පදනම් කරගත් ගැඹුරු අරමුණක් ගැබ්ව ඇත. ආදිත්‍ය පවසන පරිදි, ”සතුන්ට ආදරය කළ හැකි මිනිසෙකුට, තවත් මිනිසෙකුට, අවට පරිසරයට මෙන්ම තමාටම වුවද අවංකව ආදරය කිරීමේ හැකියාව පවතී.” මෙම උදාර දර්ශනය ඔවුන්ගේ වීඩියෝ නිර්මාණවලට පමණක් නොව, TikTok හරහා ගොඩනැඟෙමින් පවතින සමස්ත ප්‍රජාවටම අදටත් මඟපෙන්වනු ලබයි.
TikTok හරහා කාරුණික සමාජයක්
ආදිත්‍ය සහ රුවන්තිට අනුව, ‘’CocoBunny Family’’සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ TikTok හි ලැබෙන නැරඹුම් වාර හෝ අනුගාමිකයන් සංඛ්‍යාව මත නොව, එමඟින් සමාජයට සිදුවන යහපත් බලපෑම මතය. ඔවුන් පළ කරන සෑම විනෝදජනක ”පුරුපුරුවෝ” වීඩියෝවක් සහ අදහස් දැක්වීමක් පිටුපසම, බළලුන් කෙරෙහි මිනිසුන් දක්වන ආකල්ප සාධනීය ලෙස වෙනස් කිරීමේ උත්සාහයක් ගැබ්ව ඇත. සතුන් ඇති දැඩි කිරීමේදී අවශ්‍ය වන වගකීම, ඉවසීම සහ කැපවීම පිළිබඳව සමාජය වඩාත් හොඳින් වටහා ගනු ඇතැයි මෙම යුවළ බලාපොරොත්තු වෙති. එමෙන්ම බළලුන් රැකබලා ගැනීම පිළිබඳ දැනුම සරලව ලබාදීම තුළින්, සතුන් අතහැර දැමීමේ ප්‍රවණතාවය අවම කිරීම ද ඔවුන්ගේ අරමුණයි.
”කවුරුහරි අපේ වීඩියෝවක් බලලා අලුත් දෙයක් ඉගෙන ගත්තොත්, අඩුම තරමේ එක මනුස්සයෙක් හරි තමන්ගේ පූසාට මීට වඩා ආදරයෙන් සලකන්න පෙළඹුණොත්, අපේ මෙහෙවර සාර්ථකයි කියලා අපිට හිතෙනවා,” යැයි ඔවුහු පවසති. ඔවුන්ට අනුව මෙම මෙහෙයුම සතුන්ට ආදරය කිරීමට පමණක් සීමා වූවක් නොවේ. කොකෝබනී පවුල මේ වන විටත් TikTok අවකාශය තුළ දහස් සංඛ්‍යාත සත්ව ලෝලීන්ට සහනයක් සහ දැනුමක් සපයන නවාතැනක් වී ඇතත්, ඔවුන් පවසන්නේ මෙම ගමනෙහි ආරම්භය පමණක් මෙය බවයි. අනාථ වන සතුන් වෙනුවෙන් මීට වඩා විශාල සිහින රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. මන්ද, කෝකෝ සහ බනී ඔප්පු කර පෙන්වා ඇති පරිදි, කුඩාම සත්ව පියසටහන්වලට පවා මිනිස් හිත් තුළ මැකිය නොහැකි විශාලම මතකයන් සටහන් කළ හැකි බැවිනි.




