ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) සඳහා රු. බිලියන 65.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 11.2% ක වර්ධනයකි. සුව සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය, පාරිභෝගික අංශයේ වේගවත් වර්ධනය සහ කෘෂි ව්‍යාපාර අංශයෙන් ලැබුණු ඉහළ දායකත්වය මෙම ආදායම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර සුව සේවා අංශයේ ලාභ ප්‍රතිශතය අඩුවීම හේතුවෙන් සමස්ත ලාභයට බලපෑම් එල්ල වුවද, සමූහය සිය මෙහෙයුම් කාර්යසාධනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සමත් වී ඇත. ව්‍යාපාර විවිධාංගීකරණය තුළින් අභියෝගාත්මක කාලවලදී පවා ශක්තිමත්ව සිටීමට සමාගමට ඇති හැකියාව මෙයින් මනාව පෙන්නුම් කරයි.
සමූහයේ සමස්ත ආදායමට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2026 මූල්‍ය වර්ෂයේදී එම අංශය 56.8% ක දායයකත්වයක් ලබා දී ඇත.
මේ අතර සමූහයේ ආදායමට පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර අංශ පිළිවෙළින් 28.9% ක සහ 14.3% ක දායකත්වයක් ලබා දී ඇත. මෙමගින් සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතු විවිධ වර්ගයේ ව්‍යාපාරික ශක්තිය පිළිබිඹු වේ.
සමූහයේ දළ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 6.7% කින් රු. බිලියන 19.0 ක් දක්වා වර්ධනය වී ඇත. කෙසේ වුවද, 2025 මූල්‍ය වර්ෂයේදී 30.1% ක් ලෙස වාර්තා වූ දළ ලාභාන්තිකය මෙම වසරේදී 28.9% ක් දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. සමූහයේ මෙහෙයුම් ලාභය (EBIT) රු. බිලියන 9.3 ක් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණ ද, මෙහෙයුම් ලාභාන්තිකය පසුගිය මූල්‍ය වසරට සාපේක්ෂව 15.7% සිට 14.1% දක්වා පහත වැටී ඇත. සන්ෂයින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 2.5% ක සුළු අඩුවීමක් පෙන්නුම් කරමින් රු. බිලියන 5.0 ක් වී ඇත. ලාභදායීත්වයේ මෙම සුළු පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සුව සේවා අංශයේ ලාභ ප්‍රතිශතය අඩුවීමයි. විශේෂයෙන්ම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඖෂධ නිෂ්පාදන සඳහා සිදුකළ මිල සංශෝධන සහ රජයේ වෛද්‍ය ඇණවුම් සඳහා අඩු මිල ගණන් ගෙවීම මීට බලපාන ලදී.
අදාල මූල්‍ය වර්ෂයේදී සමාගම Joint Agri Products Ceylon පුද් සමාගමේ (JAPC) බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගත්තේය. ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික කුළුබඩු, තේ සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන සකස් කර අපනයනය කිරීම JAPC සතු ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර වේ. මෙම නව ආයෝජනය හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පාරිභෝගික අංශය තවදුරටත් ශක්තිමත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන අපනයන අරමුණු කරගත් ව්‍යාපාර ගොඩනැගීමට සමාගමේ කැපවීම ද තවත් ශක්තිමත් කිරීමට මනා දායකත්වයක් ලැබෙනු ඇත.
සමාගමේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා සඳහන් කළේ, “ඇතැම් අංශවලට එල්ල වූ අභියෝග මධ්‍යයේ පවා 2026 මූල්‍ය වර්ෂය සන්ෂයින් සමුහය ශක්තිමත් වර්ධනයක් අත්කර ගත් වසරක්. එහිදී ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ සහ ෆාමසි යන සියලු අංශවල විශිෂ්ට මෙහෙයුම් දායකත්වය හේතුවෙන් සුව සේවා අංශය සමූහයේ ආදායම් වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දෙනු ලැබුවා. මේ අතර පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශ ද ස්ථාවර වර්ධන වේගයක් පවත්වා ගැනීමට සමත් වුණා. එමෙන්ම සුව සේවා අංශයේ මිල ගණන් සම්බන්ධයෙන් පැවති අභියෝග හේතුවෙන් ලාභාන්තිකය කෙරෙහි බලපෑම් එල්ල වුවද, සමූහයේ මෙහෙයුම් කාර්යසාධනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සමූහයට හැකි වුණා. ඒ සමඟම, අනාගත ව්‍යාපාර වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට ද අපට හැකි වුණා.” යනුවෙනි.
“ඉදිරිය දෙස බලන විට, අපගේ ඉහළම ක්‍රියාකාරී අංශ පුළුල් කිරීම, දේශීය නිෂ්පාදන හා බෙදා හැරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම මෙන්ම ප්‍රධාන දේශීය හා විදේශීය වෙළඳපොළවල අපගේ පැවැත්ම වර්ධනය කිරීම කෙරෙහි අපි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා. JAPC සමාගම අත්පත් කර ගැනීම හරහා අපගේ අගය එකතු කළ අපනයන උපායමාර්ග සැලසුම තවදුරටත් ශක්තිමත් කිරීමට මනා පිටුවහලක් ලැබෙන අතරම සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර අංශයන් වෙත අඛණ්ඩව සිදුකරනු ලබන ආයෝජන මඟින් කොටස්කරුවන්ට මෙන්ම අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට ද තිරසාර වටිනාකමක් ලබා දීමට සමූහය සූදානමින් සිටිනවා.” යනුවෙන් සතාසිවම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සුව සේවා අංශය
2026 මූල්‍ය වසරේදී සුව සේවා අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 14.9% කින් වර්ධනය වී රු. බිලියන 37.4 ක් වී ඇත. මෙයට ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ සහ ෆාමසි ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඇතුළත් විය. මෙමගින් මෙම අංශය සතු ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සහ වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමාගමට ඇති හැකියාව මනාව පෙන්නුම් කරයි.
ඖෂධ විකුණුම් ප්‍රමාණය වැඩි වීම සහ අපනයන ආදායම ඉහළ යාම හේතුවෙන් සන්ෂයින් ෆාමසියුටිකල්ස් පසුගිය වසරට සාපේක්ෂව 24.4% ක කැපී පෙනෙන ආදායම් වර්ධනයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, මෙම මූල්‍ය වර්ෂයේ අවසාන භාගයේදී NMRA හි මිල පාලන ක්‍රමවේදය යටතේ ඖෂධ නිෂ්පාදන සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් පහත හෙළීම හේතුවෙන්, එම අංශයේ ලාභදායීත්වයට සැලකිය යුතු බලපෑමක් එල්ල විය.
Healthguard Distribution හි නව ව්‍යාපාර ආකෘතියේ සාර්ථකත්වය සහ නව බෙදාහැරීමේ සේවාවන් පහක් Healthguard Distribution සමඟ අලුතින් එක්වීම හේතුවෙන් සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 25.2% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මීට අමතරව, ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ සඳහා වෙළෙඳපොළ තුළ පැවති ස්ථාවර ඉල්ලුම හේතුවෙන් Sunshine Medical Devices සමාගමේ ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව 12.3% කින් වර්ධනය වී ඇත.
මේ අතර 2026 වර්ෂය සඳහා වූ රජයේ මිලදී ගැනීමේ ඇණවුම් වෙනුවෙන් අඩු මිල ගණන් නියම වීම හේතුවෙන්, සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ වාර්ෂික ආදායම පසුගිය වසරට සාපේක්ෂව 5.1% ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත.
පාරිභෝගික වෙළෙඳාම් අංශය වන හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම 11.3% ක වර්ධනයක් වාර්තා කර ඇති අතර මෙයට ඖෂධ සහ ශරීර සුවතා නිෂ්පාදන යන දෙඅංශයේම විකිණුම් සහ වටිනාකම් ඉහළ යාම හේතු විය.
පාරිභෝගික අංශය
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම 2026 වර්ෂය තුළ 2.8% ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති අතර එය සමූහයේ සමස්ත ආදායමට 28.9% ක දායකත්වයක් ලබා දී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සන්නාමගත තේ වෙළෙඳපොල තුළ පෙන්නුම් කළ අඛණ්ඩ ස්ථාවරත්වය සහ රසකැවිලි ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්වයට පත් වීමයි.
සන්නාමගත තේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 7.6% කින් වර්ධනය වී ඇත. Modern trade සේවා හරහා දියත් කළ සාර්ථක ව්‍යාපාරික උපායමාර්ග මීට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එමගින් සමස්ත තේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 8.7% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. සමූහයේ ප්‍රමුඛතම තේ සන්නාමයන් වන Zesta, Watawala, සහ Ran Kahata වෙළෙඳපොළේ ඉහළ ගුණාත්මක, මහා පරිමාණ සහ වඩාත් ලාභදායී යන සියලුම පාරිභෝගික කාණ්ඩ පුරා සිය ස්ථානය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත්ව ඇත.
මේ අතර රසකැවිලි ව්‍යාපාරය සහ රසකැවිලි අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 8.5% කින් හා 8-9කින් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම, චුයින්ගම් සහ වේෆර් නිෂ්පාදන කාණ්ඩ වෙළෙඳපොළ තුළ දැක්වූ ඉහළ කාර්යසාධනය මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
සමූහයේ අපනයන ව්‍යාපාරය වන Sunshine Tea, අගය එකතු කළ නිෂ්පාදන වෙනුවට තොග වශයෙන් තේ අපනයනය කිරීමේ ඇණවුම් වෙත වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 4.8% ක අඩුවීමක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, විදේශීය වෙළෙඳපොළ තුළ පවතින අඛණ්ඩ ඉල්ලුම හේතුවෙන් තේ අපනයන අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 8.1% කින් ඉහළ ගියේය.
කෘෂි ව්‍යාපාර අංශය
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම 2026 මූල්‍ය වර්ෂයේදී පසුගිය වසරට සාපේක්ෂව 18.9% ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත. විශේෂයෙන්ම, සමාගමේ පාම් ඔයිල් ව්‍යාපාරයේ ශක්තිමත් මෙහෙයුම් සහ මූල්‍ය කාර්යසාධනය මෙම ඉහළ කාර්යසාධනයට හේතු විය.
පාම් ඔයිල් ව්‍යාපාරය 2026 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 8.4 ක ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 23.6% ක වර්ධනයක් වන අතර පාම් ඔයිල් ව්‍යාපාරයේ ඉහළ ආදායම සහ වෙළෙඳපොළ මිල ගණන් වර්ධනය වීම මෙයට හේතු විය. තවද අදාල මූල්‍ය වර්ෂයේදී මෙම අංශය 30.8% ක ඉහළ ලාභ ප්‍රතිශතයක් පවත්වා ගනිමින් රු. බිලියන 2.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව 8.2%කින් රු. බිලියන 1.1ක් දක්වා පහත වැටුණු අතර විකුණුම් මිල අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.




