HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා 2026 අගෝස්තු 28 දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව සමාගම නිවේදනය කරයි. වසර නවයක විශිෂ්ට සේවා කාලයක් සම්පූර්ණ කරමින් එදිනම විශ්‍රාම යන රාජීව් දිසානායක මහතාගෙන් පසුව ඔහු මෙම ධුරයට පත්ව සිටී.

තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ ඉංජිනේරු ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් යටිතල පහසුකම්, ව්‍යවසාය පද්ධති, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය සහ නියාමන අධීක්ෂණය යන ක්ෂේත්‍ර රැසක ජ්‍යෙෂ්ඨ මට්ටමේ වසර තිහකට ආසන්න වෘත්තීය අත්දැකීම් ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සතු වේ. බැංකු, විදුලි සංදේශ, තාක්ෂණික සහ ආයතනික ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨ විධායක හා අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ තනතුරු රැසක් ද ඔහු හොබවා ඇත.

ලොව පිළිගත් Certified Information Systems Security Professional (CISSP) සහ Certified Cloud Security Professional (CCSP) වෘත්තීය සහතික සමඟ CPA Australia වෙතින් CPA සුදුසුකම ද ඔහු සතුය. එමෙන්ම CPA Australia හි Distinguished Member තත්ත්වය ද ඔහුට හිමිව ඇත. සයිබර් ආරක්ෂාව, තාක්ෂණික අවදානම් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය සහ උපායමාර්ගික තීරණ ගැනීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඔහුගේ වෘත්තීය සුදුසුකම් සහ අත්දැකීම් විහිදී ඇත.

අධ්‍යක්ෂවරයෙකු ලෙස HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලයට එක්විය. තාක්ෂණය, ප්‍රසම්පාදනය, විගණනය, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය, උපායමාර්ග හා ආයෝජන සහ ණය යන ක්ෂේත්‍රවල අධ්‍යක්ෂ මණ්ඩල අධීක්ෂණ වගකීම් ඔහු විසින් හොබවා ඇත.

2019 ජූලි මාසයේ සිට Hatton National Bank PLC අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකත්වය හොබවන ඔහු Hayleys Fibre PLC සහ Chemanex PLC හි අධ්‍යක්ෂවරයෙකු ද වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු රාජ්‍ය හා නියාමන ක්ෂේත්‍රවල ද පුළුල් අත්දැකීම් සතුය.

මූල්‍ය, තාක්ෂණික, ආයතනික පාලන සහ නියාමන විශේෂඥතාව ඒකාබද්ධ කරන ඔහුගේ පත්වීම, ඩිජිටල් පරිවර්තනය, සයිබර් ආරක්ෂාව, අවදානම් කළමනාකරණය සහ නියාමන අනුකූලතාව මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධක බවට පත්ව ඇති අවස්ථාවක HNB FINANCE PLC සඳහා වැදගත් නායකත්ව ශක්තියක් එක් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *