ශ්‍රී ලංකාවේ ප්රමුඛ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC සිය අධ්යක්ෂ මණ්ඩලයට නව ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරු සිව්දෙනෙකු පත් කර ඇත. රේණුක විජයවර්ධන, ශාන්ති ඥානප්‍රකාසම්, නබීහා මොහොමඩ් සහ ආචාර්ය තිසුරි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් එලෙස පත්කර ඇති නව අධ්යක්ෂවරුන් වන අතර එම පත්වීම් සැප්තැම්බර් 8 වැනිදා සිට බලපැවැත්වේ.
මෙම පත්වීම් සමඟ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනය, බැංකු හා අවදානම් කළමනාකරණය, ආයතනික මූල්‍ය, ආයෝජන සහ රාජ්‍ය ප්‍රතිපත්ති යන ක්ෂේත්රවල අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂඥ දැනුම තවදුරටත් පුළුල් වීම විශේෂත්වයකි.
නව අධ්යක්ෂ මණ්ඩල පත්වීම් ලැබූ රේණුක විජයවර්ධන මහතා පළපුරුදු නීතිඥවරයෙකු වන අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්රයේ උපදේශකවරයකු ලෙස දශක තුනකට වැඩි පළපුරුද්දක් ඔහු සතුය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ වසර 31කට වැඩි කාලයක් සේවය කළ ඔහු 2025 ජූලි මාසයේදී එහි ප්‍රධාන නියාමන නිලධාරී ධූරයද හෙබවීය. නියාමන ප්‍රතිපත්ති, සමාගම් ලැයිස්තුගත කිරීම, තැරැව්කරුවන්ගේ අධීක්ෂණය සහ වෙළෙඳපොළ නිරීක්ෂණය ඇතුළු අංශ රැසක් රේණුක විජයවර්ධන මහතාගේ වගකීම්වලට අයත් විය.
Delivery versus Payment සහ Central Counterparty Clearing වැනි වෙළෙඳපොළ යටිතල පහසුකම් සංවර්ධනයටද විජයවර්ධන මහතා දායක වී ඇති අතර Central Depository System හි ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති (LL.B. -Hons.) උපාධිධාරියෙකි.
ශාන්ති ඥානප්‍රකාසම් මහත්මිය බැංකු ක්ෂේත්රයේ වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ වෘත්තියවේදිනියක් වන අතර භාණ්ඩාගාර කළමනාකරණය, අවදානම් කළමනාකරණය, ණය සහ වෙළෙඳ මූල්‍ය යන ක්ෂේත්රවල ඇය පුළුල් අත්දැකීම් ලබා ඇත. ඇය දැනට Cargills Bank PLC, Wealth Trust PLC සහ Vision Fund Lanka හි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරයි.
මීට පෙර NDB Bank හි සමූහ ප්‍රධාන අවදානම් නිලධාරිනිය සහ ප්‍රධාන ණය නිලධාරිනිය ලෙසත්, HNB හි ප්‍රධාන අවදානම් නිලධාරිනිය සහ භාණ්ඩාගාර හා වෙළෙඳපොළ අංශ ප්‍රධානිය ලෙසත් ශාන්ති ඥානප්‍රකාසම් මහත්මිය සේවය කර ඇත. ඇය CIMA UK හි Fellow සාමාජිකාවක් සහ වරලත්ගෝලීය කළමනාකරණ ගණකාධිකාරවරියෙකි.(Chartered Global Management Accountan).
නබීහා මොහොමඩ් මහත්මිය ආයතනික මූල්‍ය, ආයෝජන සහ උපායමාර්ග ක්ෂේත්රයේ වසර 12කට වැඩි පළපුරුද්දක් සතුය.
ඇය දැනට Lynear Wealth Management හි Strategy and Growth හි අයතනික ප්‍රධානී ලෙස කටයුතු කරයි. මීට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධාන ගනුදෙනු උපදේශකවරිය ලෙස ද ඇය කටයුතු කර ඇත.
එහිදී හෝටල්, රක්ෂණ සහ තෙල් හා ගෑස් ක්ෂේත්රයන්හි ඇමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි වටිනාකමකින් යුත් ප්‍රධාන ගනුදෙනු පහකට නබීහා මොහොමඩ් මහත්මිය නායකත්වය ලබා දී ඇති අතර CHEC Port City Colombo සහ John Keells Holdings හිද ඇය සේවය කර තිබේ. ඇය CFA හි සාමාජිකත්වය හොබවනු ලබයි.
ආචාර්ය තිසුරි වන්නිආරච්චි මහත්මිය සංවර්ධන මූල්‍ය, රාජ්‍ය ආයෝජන, ආයතනික ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණය පිළිබඳ දශකයකට වැඩි අත්දැකීම් සතුය.
ඇය දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බහුපාර්ශ්වික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති සහ ආයෝජන මූල්‍ය වැඩසටහනක ජාතික වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි.
ලෝක බැංකුව සමඟ දකුණු ආසියාව, මැද පෙරදිග, උතුරු අප්‍රිකාව සහ ආසියා පැසිෆික් කලාපවලද ආචාර්ය තිසුරි වන්නිආරච්චි මහත්මිය සේවය කර ඇත. 2022 ආර්ථික අර්බුදය හමුවේ අස්වැසුම වැඩසටහන සහ එහි සමාජ ලේඛනය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහාද ඇය දායක වූවාය.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත.
මෙම පත්වීම් සමගින් HNB FINANCE PLC හි පාලන, අවදානම් කළමනාකරණ සහ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.




