මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ උත්සවයේ අරමුණ වූයේ කුසලතා පුහුණුව සහ පිළිගත් වෘත්තීයක් වෙනුවෙන් ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධීකරණය කිරීමයි. ඒ වෙනුවෙන් සමාගම්, රාජ්‍ය ආයතන, අධ්‍යාපනඥයින් සහ සංවර්ධන හවුල්කරුවන් එක් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා “ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් පවතින ශ්‍රම වෙළෙඳපොල හිඩැස පිරවීම සඳහා මේ ආකාරයේ වැඩසටහන් ඉතා වැදගත්. ආබාධ සහිත පුද්ගලයින් බොහෝ දෙනෙක් පරිපූර්ණ පුහුණුවක් ලබා තිබුණද රැකියා සඳහා පිවිසීමේ ගැටලු සහ සුදුසු සේවා යෝජකයකු සොයා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ඔවුන්ට වෘත්තියක නියැලීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. මෙම වැඩසටහන තුලින් ආබාධ සහිත පුද්ගලයින්ගේ හැකියාවන් සහ වෘත්තීන් අතර ඍජු සබඳතාවක් නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා.” යනුවෙන් පැවසුවේය.
ශ්‍රී ලංකාවේ පළමු ආබාධිත රැකියා ගැලපුම් වැඩසටහන වූ මෙහිදී අපේක්ෂකයින් විසින් ජීව දත්ත පත්‍ර 100කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ට සංචාරක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, වෙළෙඳාම, නිෂ්පාදන හා සේවා අංශවල සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමට හැකි විය. සමාගම් කිහිපයක් එම අවස්ථාවේදීම මූලික පරීක්ෂණයන් සිදු කරමින් මේ සඳහා වන සේවා යෝජකයින්ගේ උනන්දුවද ප්‍රදර්ශනය කරන ලදී.
ආබාධිත පුද්ගයින් විසින් මෙහෙයවනු ලබන ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපාර සහිත ආර්ථික කලාපයක් මෙහිදී දැකගත ගත හැකි වූ අතර පාසල් සහ ප්‍රජා සංවිධාන ශිල්පීය භාණ්ඩ, ආහාර නිෂ්පාදනය සහ පරිසර හිතකාමී භාණ්ඩ ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලදී. තවද විශේෂ ළමුන් සඳහා චිත්‍රා ලේන් පාසල විසින් විශේෂ ළමුන්ගේ නිර්මාණ ඇතුළත් නිර්මාණාත්මක කලාපය මෙන්ම ආබාධ සහිත දරුවන් හා වැඩිහිටියන්ගේ රංගනයන් හා කලා කෘති ඉදිරිපත් කිරීමද මෙහි විශේෂත්වයක් විය.
වැඩසටහන සඳහා එක්වූ සේවා යෝජකයින් සහ පුහුණු ආයතන එක්ව සේවා ස්ථාන වෙත බඳවා ගැනීමේ අවස්ථාවන් ඉහළ නැංවීම සහ ආබාධ සහිත පුද්ගලයින් බඳවා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා කිරීමටද මෙහිදී කටයුතු කරන ලදී. වැඩසටහනෙහි සංවිධායකයින් සඳහන් කර සිටියේ මෙහි යම් ප්‍රගතියක් දක්නට ලැබණද ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා සඳහා යොමු වීමේ දුෂ්කරතාවයන් පවතින බවයි.
ජර්මානු ෆෙඩරල් ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යාංශය (BMZ) වෙනුවෙන් ස්විස් සංවර්ධන සහ සහයෝගීතා නියෝජිත ආයතනයේ (SDC) සහයෝගය මත Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය විසින් TVET ආයතන, පුහුණු මධ්‍යස්ථාන සහ පෞද්ගලික අංශ හවුල්කරුවන් සමඟ එක්ව කුසලතා සංවර්ධනය ඉහළ නැංවීම හා ශ්‍රම වෙළෙඳපොල අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය තුලින් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ සැලකිල්ලට ලක් නොවන කාන්තාවන් හා ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව ඉහළ නැංවීමටයි.
අද වන විට පෞද්ගලික අංශයේ හවුල්කරුවන් 13 දෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති GIZ VTSL ආබාධිත පුද්ගලයින් 95 දෙනෙකු ඇතුලු කුසලතා පුහුණුවක් ඇති පුද්ගලයින් 1,000කට අධික සංඛ්‍යාවක් වෙත සහයෝගය ලබා දීමට කටයුතු කර ඇත.



