Daraz ශ්‍රී ලංකා ආයතනය, සිය වේදිකාව හරහා අලෙවි කරනු ලබන සෞඛ්‍ය, රූපලාවන්‍ය සහ විලවුන් නිෂ්පාදනවල ප්‍රමිතිය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් වාණිජ කටයුතු (e-commerce) සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සහ නියාමන ක්‍රියාවලීන් පිළිබඳව Daraz අභ්‍යන්තර කණ්ඩායම් සහ විකුණුම්කරුවන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. එමගින් පාරිභෝගිකයින්ට වඩාත් ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුතු සේවාවක් ලබා දීමට Daraz ආයතනය අපේක්ෂා කරයි.
පෙබරවාරි මාසයේදී පැවැති මෙම වැඩමුළුව සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සම්පත් දායකයින් ලෙස සහභාගී වූ අතර, ඔවුන් එහිදී ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කෙරෙන NMRA පනත සහ අදාළ රීති පිළිබඳව Daraz කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලදී.
විකුණුම්කරුවන් සමඟ සෘජුව ගනුදෙනු කරන කණ්ඩායම්වල දැනුම ඉහළ නැංවීම හරහා, වෙළෙඳපොළ තුළ නීතිමය අනුකූලතාවය ආරක්ෂා කිරීමට සහ වඩාත් ගුණාත්මක විකුණුම්කරුවන් පිරිසක් බිහි කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා අලෙවි කෙරෙන සෞඛ්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම මෙන්ම මහජන සෞඛ්‍ය සුරැකීම සඳහා නියාමන අධිකාරිය ඉටුකරන කාර්යභාරය ද මෙහිදී අවධාරණය කෙරිණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ Daraz ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රුක්ෂාන් සේවියර් මහතා සඳහන් කළේ, “විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය කෙරෙහි ගනුදෙනුකාර විශ්වාසය ගොඩනැගීම සඳහා අපගේ වේදිකාව තුළ ආරක්ෂාව සහ නීතිමය ප්‍රමිතීන් උපරිමයෙන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි. මෙම වැඩමුළුව හරහා අපගේ කණ්ඩායම්වල හැකියාවන් වර්ධනය කරමින් විකුණුම්කරුවන්ට නිසි මගපෙන්වීමක් ලබා දීමටත්, ඒ හරහා පාරිභෝගිකයින්ට පූර්ණ විශ්වාසයකින් යුතුව සෞඛ්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමටත් අප කටයුතු කරනවා. මේ සඳහා සිය දැනුම සහ අත්දැකීම් බෙදාගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අපගේ ස්තූතිය හිමිවනවා.” යනුවෙනි.
රටේ පවතින නියාමන අවශ්‍යතා සහ මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවන්ට අනුකූලව, වඩාත් ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුතු ඩිජිටල් වෙළෙඳ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාම වෙනුවෙන් Daraz ශ්‍රී ලංකා ආයතනය අඛණ්ඩව කැපවී සිටියි. දැනුවත් කිරීම් සහ නිරන්තර අධීක්ෂණය හරහා සෞඛ්‍ය හා රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට ඉදිරියේදීත් ආයතනය පියවර ගනු ඇත.




