දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට HNB දියත් කළ “නැණ සවි මෙහෙවර” සාර්ථකව අවසන් වෙයි

Share

Share

Share

Share

දිට්වා සුළි කුණාටුව සහ ඉන්පසු ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් දීප ව්‍යාප්තව අධ්‍යාපන කටයුතු අඩාල දරුදැරියන්ට අත්වැලක් වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආරම්භ කළ නැණ සවි මෙහෙවර ජාතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙයින් විපතට පත් දරුදැරියන්ගේ අඩාල වූ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරමින් සහ ඔවුන්ගේ හෙට දිනය සිනහවෙන් පුරවාලීමට මෙම කාලෝචිත වැඩසටහන මඟින් අවශ්‍ය සහයෝගය ලබාදීමට පියවර ගැනුණි.

දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 250කට අධික සංඛ්‍යාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ “නැණ සවි මෙහෙවර” වැඩසටහන සඳහා HNB කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් මෙන්ම ප්‍රජාව ද මහත් උනන්දුවකින් දායක විය. මෙම පාරිභෝගික ඒකකවල පිහිටුවා තිබූ ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ආපදාවට ලක් වූ දරුදැරියන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ රැසක් ලැබී තිබුණි. මෙම කාලෝචිත ප්‍රජා සත්කාරයේ මූලික අරමුණ වූයේ, මෙම ස්වභාවික ව්‍යවසනයෙන් අවතැන් වූ සහ පීඩාවට පත් දරුදැරියන්ට අවශ්‍ය පොත්පත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු අනෙකුක් පාසල් උපකරණ කඩිනමින් ලබා දෙමින් ඔවුන්ගේ අඩපණ වූ අධ්‍යාපන කටයුතු ප්‍රමාදයකින් තොරව යළි ආරම්භ කිරීමට ඔවුන්ට ශක්තියක් වීමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “ජාතියක් වශයෙන් මෙවැනි ස්වභාවික ව්‍යවසනයකට මුහුණ දුන් මොහොතක, සමාජයට සැබෑ වෙනසක් කළ හැකි ප්‍රමුඛ පෙළේ ආයතන පෙරට පැමිණීම අත්‍යවශ්‍ය වගකීමක් ලෙස HNB අප විශ්වාස කරනවා. නැණ සවි මෙහෙවර වැඩසටහන හරහා අපගේ දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක ජාලය උපයෝගී කරගනිමින්, ආපදාවට පත් දරුදැරියන්ට කිසිදු බාධාවකින් තොරව නැවත පාසල් යාමට මඟ පෙන්වීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් මෙන්ම සමස්ත ප්‍රජාවම එකම අරමුණක් වටා රොද බැඳගත්තා. දරුවන් යනු මේ රටේ අනාගතයයි. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වීම පන්ති කාමරයට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවෙයි. ඒ නිසාම, ඔවුන්ට අවශ්‍ය ඉගෙනුම් උපකරණ ලබාදී අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වීම, ශ්‍රී ලංකාව පෙරමුණට රැගෙන යන අනාගත පරපුර වෙනුවෙන් කරන ලද වටිනා ආයෝජනයක්.” යනුවෙනි.

මෙම පාසල් උපකරණ බෙදාහැරීමේ කටයුතු අදාල පාසල් බලධාරීන් සමඟ සමීපව සම්බන්ධ වෙමින් සිදු කළ බැවින්, පීඩාවට පත් වූ සියලුම දරුදැරියන්ට මෙම ආධාර ලබා දීමට හැකි විය. විපතට පත් ජනතාවගේ ජනජීවිතය සහ යටිතල පහසුකම් යළි ගොඩනඟන තෙක් ඔවුන්ට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබාදීමට මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වේ.

‘‘HNB යනු හුදෙක් මූල්‍ය ගනුදෙනු ලේඛනවලට විතරක් සීමා නොවූ මිනිසුන්ගේ ජීවිතවලට සැබෑ අර්ථයක් එක් කළ යුතුයි යන විශ්වාසය මත ගොඩනැඟුණු සන්නාමයක්. දිට්වා සුළි කුණාටුවෙන් රට පුරා ජනජීවිත අඩාල වූ මොහොතේ, එම විශ්වාසය ප්‍රායෝගිකව ඔප්පු කිරීමට අපට අවස්ථාව ලැබුණා. නැණ සවි මෙහෙවර වැඩසටහන අපි සැලසුම් කළේ අපගේ දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක ජාලය භාවිත කොට අධ්‍යාපන කටයුතු අඩාල වුණු දරුදැරියන්ට උපරිම සහයෝගය ලබා දීමටයි. දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයෙන් ඇරඹි මෙම පාසල් උපකරණ බෙදා දීමේ සත්කාරය, අපේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ සමස්ත පාරිභෝගික ඒකක ජාලය පුරාවට සාමූහික කැපවීමෙන් රට පුරාම ව්‍යාප්ත කිරීමට අපට හැකි වුණා. රටක අනාගතයට අධ්‍යාපනය යනු ප්‍රධානම පදනමයි. විශේෂයෙන් මෙවැනි ආපදා අවස්ථාවලදී අපේ සමාජය වෙනුවෙන් HNB ඉටුකළ යුතු කාර්යභාරය මෙවැනි වැඩසටහන් හරහා මනාව පෙන්නුම් කරනවා.” යනුවෙන් HNB උප සභාපති – අලෙවි සහ ආයතනික සන්නිවේදන, උපුල් අධිකාරි මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහන සිය ආයතනික සමාජ වගකීම් එක් අංශයකට පමණක් සීමා නොකොට මස්ත සමාජයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට HNB සතු සුවිශේෂී හැකියාව මනාව පෙන්නුම් කරයි. ඒ වෙනුවෙන් සිය 250කට අධික දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක සංඛ්‍යාව උපරිම ලෙස භාවිත කරමින් බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් 5,000කට වැඩි පිරිසක් එක් අරමුණක් වෙනුවෙන් ඉතා කැපවීමෙන් දායක විය. මෙමඟින් පැහැදිලි වන්නේ තමන් සතු සුවිශාල ආයතනික ශක්තිය සහ දිවයින පුරා ඇති ජාලය, සමාජයට සැබෑ අර්ථයක් සහ යහපතක් උදාකරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවට පත් කිරීමට HNB දක්වන නොසැලෙන කැපවීමයි.

தித்வா சூறாவளியால் பாதிக்கப்பட்ட பாடசாலை மாணவர்களின்...
பயிர் திருட்டு காரணமாக இலங்கையின் விவசாயத்...
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්...
From Cane Field to Finished...
First Capital enhances service experience...
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය...
கிளாஸ்கோ 2026 பொதுநலவாய விளையாட்டு விழா:...
අන්තර්ගත නිර්මාණයෙන් ඔබ්බට ගොස් TikTok...
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය...
கிளாஸ்கோ 2026 பொதுநலவாய விளையாட்டு விழா:...
අන්තර්ගත නිර්මාණයෙන් ඔබ්බට ගොස් TikTok...
இலங்கையில் மனிதர்களும் இயற்கையும் எவ்வாறு இணைந்து...