ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ CBL සමූහයට අනුබද්ධිත සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන CBL Cocos එක්ව රාජාංගණය, නොච්චියාගම, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිටින කුඩා පොල් වතු හිමියන්ට විශේෂ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා හවුල්කාරීත්වයකට එළඹුණේය.
HNB කෘෂි ව්‍යාපාර ඒකකය සහ CBL Cocos එක්ව මෙහෙයවනු ලබන මෙම වැඩසටහන මඟින් සමාගමට සෘජුවම පොල් සපයන ලියාපදිංචි ගොවි කණ්ඩායම් සඳහා මූල්‍ය සහාය ලබා දෙයි තවද මෙම හවුල්කාරීත්වය පොල් වියළා විකිණීමට සූදානම් කරන කාලය තුළ ගොවීන්ට තම වියදම් කළමනාකරණය කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටත්, අතරමැදියන් මත යැපීම අඩු කිරීමටත් සහ නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලියේ ශක්තිමත්ව සිටිමින් පොල් කර්මාන්තයේ දිගු කාලයක් ක්‍රියාකාරීව සහ සුරක්ෂිතව සිටීමටත් උපකාරී වේ.
හෙක්ටයාර 400,000 කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා පැතිර පවතින මෙරට පොල් කර්මාන්තය සෑම වසරකම පොල් බිලියන 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. 2024 වසරේදී පොල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණ උපයා ගත්තද පොල් ගස් පරණ වීම, අඩු ඵලදායීතාව සහ කුඩා පොල් වතු හිමියන් සඳහා සකස් කර ඇති මූල්‍ය සේවා වෙත සීමිත ප්‍රවේශය වැනි ගැටලු කිහිපයකට කර්මාන්තය තවමත් මුහුණ දෙයි.
කෘෂිකර්මාන්තය සඳහා සහාය වීමේදී බැංකුවේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ “සංවර්ධනයේ සහකරුවෙකු ලෙස අපගේ කාර්යභාරය සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට දිව යනවා. කුඩා පොල් වතු හිමියන්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සහ විධිමත් සැපයුම් දාමයන්ට සම්බන්ධ වීමට උපකාර කිරීමෙන් අපි ග්‍රාමීය ආර්ථිකයන් ගොඩනැගීමටත් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයින් සඳහා ස්ථාවර, දිගුකාලීන ජීවනෝපායන් නිර්මාණය කිරීමටත් උපකාර කරනවා. මෙවැනි හවුල්කාරිත්වයන් මගින් රට පුරා සිටින ගොවීන් සවිබල ගන්වන, සැමට ප්‍රතිලාභ ලැබිය හැකි මූල්‍ය පද්ධති නිර්මාණය කිරීම සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙනි.
“ශ්‍රී ලංකාවේ විශාලතම පොල් කිරි අපනයනකරු ලෙස, කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට අස්වැන්නේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට සහ සෑම පොල් ගසකින්ම හොඳ අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය දැනුම, පුහුණුව සහ පහසුකම් සැපයීමෙන් පොල් කර්මාන්තය වැඩිදියුණු කිරීමට CBL සමූහය කැපවී සිටිනවා. ගොවීන් සවිබලගැන්වූ විට ඔවුන්ට වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකි අතර ශක්තිමත් ප්‍රජාවන් ගොඩනැගිය හැකි බව අප ලබා ඇති අත්දැකීම් අනුව පැවසිය හැකියි. මෙම හවුල්කාරිත්වය හරහා සෘජු මූල්‍ය සහයෝගය ඇතිව ගොවීන්ට වැඩිපුර ආයෝජනය කිරීමටත්, මෙහෙයුම් පුළුල් කිරීමටත් සහ ඵලදායිතාව වැඩි කිරීමටත් හැකියි. එමඟින් ග්‍රාමීය ජීවනෝපායන් නඟා සිටුවීමට සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අනාගතය ශක්තිමත් කළ හැකියි.” යනුවෙන් CBL සමූහයේ ස්වභාවික ආහාර අංශයේ ප්‍රධාන විධායක නිලධාරී රන්දීව මලලසූරිය මහතා පැවසුවේය.
අඩු මිල ගණන්, ප්‍රමාණවත් මුදල් නොමැතිකම සහ පොල් වියළා විකිණීමට සූදානම් කරන කාලය තුළ අතරමැදියන් මත යැපීමට සිදු වීම වැනි දිගුකාලීන ගැටළු මඟහරවා ගැනීම සඳහා CBL ගොවි සමාගම් ආකෘතියක් හඳුන්වා දුන්නේය. මේ වන විට කුඩා වතු හිමියන් 200 කට වැඩි පිරිසක් මෙහි ලියාපදිංචි කර පොල් වගාව සහ සැකසුම් කටයුතු පිළිබඳ පුහුණුව ලබා දී ඇති අතර, ඔවුන්ගේම පොල් වියළීමේ අංගන පිහිටුවීමට සහාය ලබා දී ඇත. තවද මෙම ගොවීන්ට CBL Cocos සමඟ දිගුකාලීන සැපයුම් ගිවිසුම් ඇත. එමඟින් ඔවුන්ට වෙළඳපොළට සෘජු ප්‍රවේශයක් ලබා දෙන අතර HNB හි මූල්‍ය සහයෝගය ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට සහ ගොවීන්ට පොල් කර්මාන්තයේ සෑම අදියරකටම ස්ථාවර සහ විශ්වාසදායක ආකාරයකින් සහභාගී විය හැකියි.
මෙම හවුල්කාරිත්වය මගින් ව්‍යුහගත මූල්‍යකරණය, පුහුණුව සහ රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවයන් හරහා කෘෂිකාර්මික ඵලදායිතාව සහ ග්‍රාමීය ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීම සඳහා HNB දරන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.