ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන කොළඹ ඩොක්යාර්ඩ් සමාගම (CDPLC), මුහුදු පතුලේ සන්නිවේදන කේබල් ස්ථාපනය කරන සහ අලුත්වැඩියා කරන සුවිශේෂී නෞකා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ජාත්‍යන්තර සමාගම්වල වැඩිම ආකර්ෂණයක් සහ විශ්වාසයක් දිනාගැනීමට සමත්ව සිටියි.
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම මුහුදු පතුලේ කේබල් එලීම සහ අලුත්වැඩියා කිරීමේ නෞකාවක් (Cable Laying and Repair Vessel) නිෂ්පාදනය කිරීම සඳහා එක්සත් රාජධානියේ Global Marine Systems Limited ආයතනය සමඟ නිල වශයෙන් නැව් නිෂ්පාදන ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුව CDPLC වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමිර ගොඩකුඹුර සහ Global Marine Systems ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සයිමන් හිබර්ඩ් මහතා එම ගිවිසුමට අත්සන් තබනු ලැබීය.
මෙම අවස්ථාවට කොළඹ ඩොක්යාර්ඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කළමනාකාරිත්ව කණ්ඩායම වන ගිහාන් රවීනාථ මහතා – සාමාන්‍යාධිකාරී (මුදල්)/ප්‍රධාන මූල්‍ය නිලධාරී, වජිර රත්නායක මහතා – සාමාන්‍යාධිකාරී (සැපයුම් දාම කළමනාකරණ), මංගල ද සිල්වා මහතා – සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන හා පරිපාලන), ප්‍රභාත් අබේසිංහ මහතා – සාමාන්‍යාධිකාරී (නැව් තටාකාංගණ සංවර්ධන), කේ.එන්.ජී.ඩබ්ලිව්. කාරියවසම් මහතා – සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන), එස්.එච්.පී.කේ. රණතුංග මහතා – සාමාන්‍යාධිකාරී (නැව් අලුත්වැඩියා ව්‍යාපාර), බෙනී ප්‍රනාන්දු මහතා – උපදේශක, ප්‍රින්ස් ලයි මහතා – නැව් නිෂ්පාදන අලෙවි අංශ ප්‍රධානී, සංජීව ජයතිලක මහතා – සහකාර සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති ප්‍රවර්ධන), එස්.එම්.එස්.බී. සේරසිංහ මහතා – සහකාර සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති), තිසර හේවාවසම් මහතා – සහකාර සාමාන්‍යාධිකාරී (නිර්මාණ). මනෝරි මල්ලිකාරච්චි මහත්මිය – නීති උපදේශක/සමාගම් ලේකම් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

තාක්ෂණය හා නිෂ්පාදන තත්වය
නිෂ්පාදනය කිරීමට යෝජිත මෙම නෞකාව අතිනවීන වන අතර, එය ඉහළ තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර සහ උපකරණවලින් සමන්විත වේ. මුහුදු පතුලේ කේබල් එලීම සහ ඒවා අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහාම විශේෂයෙන් සැලසුම් කර ඇති මෙම නෞකාව, රළු මුහුදේ ස්ථාවරව පැවතීමේ ඉහළ හැකියාවෙන් සහ ඉතා අඩු ඉන්ධන පරිභෝජනයකින් යුක්ත වේ. නෝර්වේ හි Vard Design AS ආයතනය විසින් මෙම නෞකාව සැලසුම් කර ඇති අතර, එහි ඇති සුවිශේෂී බඳෙහි සහ ඉදිරිපස කොටසේ හැඩය හේතුවෙන් නෞකාවට ඉහළ වේගයක් ලබාගත හැකි අතරම, කාබන් විමෝචනය අවම කරමින් පරිසර හිතකාමී ලෙස ධාවනය වීමේ හැකියාවද ලැබී ඇත.
ප්‍රංශයේ Bureau Veritas Classification Society ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන මීටර් 100ක දිගින් මෙන්ම ටොන් 1800ක ධාරිතාවයකින් යුත් මෙම කේබල් නෞකාව, අඩු ඉන්ධන පරිභෝජනයක් සහිත ඩීසල්-විදුලි එන්ජින් පද්ධතියකින් ක්‍රියාත්මක වේ. මෙම නෞකාව මඟින් සාගර පතුලේ කේබල් එලීම, අලුත්වැඩියා කිරීම සහ ROV පරීක්ෂණ කිරීමේ හැකියාව සහ 14.5 ක knots උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර, පුද්ගලයන් 76 දෙනෙකුට නවාතැන් පහසුකම් ඇත.
වෙළෙඳපොල මූලිකත්වය
මුහුදු පතුලේ කේබල් එලන සහ අලුත්වැඩියා කරන විශේෂිත නෞකා නිෂ්පාදනය කිරීමේ ක්ෂේත්‍රය තුළ කොළඹ ඩොක්යාර්ඩ් සමාගම (CDPLC) සතු ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමුඛත්වය මෙම ව්‍යාපෘති හරහා මනාව තහවුරු වේ. මීට පෙර 2019 වසරේදී මීටර් 113ක් දිගැති KDDI Cable Infinity කේබල් එලන නෞකාව ජපානය වෙත සාර්ථකව නිෂ්පාදනය කර භාර දෙන ලදී. 2023 වසරේදී මීටර් 100ක් දිගැති Sophie Germain කේබල් එලන සහ අලුත්වැඩියා කිරීමේ නෞකාව ප්‍රංශය වෙත සාර්ථකව නිමකර භාර දෙන ලදී. මෙම සාර්ථකත්වය නිසාම ප්‍රංශය වෙනුවෙන් තවත් මෙවැනිම නෞකා දෙකක් නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තු හිමිව ඇති අතර ඒවා 2028 මාර්තු සහ 2029 ජනවාරි මාසවලදී භාරදීමට නියමිතය. බි්‍රතාන්‍යයේ Global Marine ආයතනය වෙනුවෙන් නිපදවන මෙම නවතම අතිනවීන නෞකාව 2029 සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් භාරදීමට නියමිතව ඇත.
ශ්‍රී ලාංකික හැකියාව
මේ වන විට කොළඹ ඩොක්යාර්ඩ් සමාගම මුහුදු පතුල් කේබල් එලන සහ අලුත්වැඩියා කරන නෞකා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති, විශ්වාසවන්තම නැව් නිෂ්පාදකයෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත. මෙමඟින් යුරෝපීය නැව් හිමියන්ගේ ප්‍රියතම ගමනාන්තයක් ලෙස කොළඹ නගරය සනිටුහන් කරමින්, කීර්තිමත් යුරෝපීය වෙළඳපොළ වෙත සාර්ථකව පිවිසීමට කොළඹ ඩොක්යාර්ඩ් සමාගමට හැකිවී තිබේ. ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස, ලොව පුරා මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති දිනාගනිමින් සහ ඒවා සාර්ථකව නිමකරමින් ශ්‍රී ලාංකේය කාර්මිකකරණයේ පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවී ඇත. ඉන්දියාවේ සුප්‍රසිද්ධ Mazagon Dock Shipbuilders Limited ආයතනය මෙහි ප්‍රධාන කොටස්කරු වන අතර, ඔවුන් සමඟ ඇති කරගත් සාර්ථක සහයෝගීතාවයෙන් පසුව කොළඹ ඩොක්යාර්ඩ් සමාගම ජයග්‍රහණය කළ දෙවන විශාලතම ජාත්‍යන්තර කේබල් නෞකා කොන්ත්‍රාත්තුව මෙය වීමද විශේෂත්වයකි.
අපනයන ආදායම
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම නැව් නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට අත්‍යවශ්‍ය විදේශ විනිමය විශාල වශයෙන් ලබාදෙමින්, ජාතික අපනයන ආදායමට ඉහළම දායකත්වයක් සපයමින් සිටියි. එමෙන්ම, ශ්‍රී ලංකාව සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ නාවික උපායමාර්ගයන් ශක්තිමත් කිරීමටත්, රටේ කාර්මික දියුණුව ඉදිරියට රැගෙන යාමටත් ප්‍රමුඛ කාර්යභාරයක් ඔවුන් විසින් ඉටුකරනු ලබයි.





