ලෝකයේ විවිධ අවදානම් සහගත තත්ත්වයන් දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ ජීවත්වීමට අභියෝගයක් එල්ල කරමිනි. මේ සඳහා විසඳුමක් ලෙස ආර්ථික විශ්වාසය ගොඩනැඟීම, ප්‍රජාවන් ආරක්ෂා කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කොටගත් දින තුනක සුවිශේෂී සාකච්ඡාවක් සමඟින් 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව පසුගියදා කොළඹදී අවසන් විය.
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුවේ (SLIIS) දෙවන අදියර වූ මෙය “Insurance as a Catalyst for Economic Confidence in a Complex Risk Landscape” යන තේමාව යටතේ අගෝස්තු 10 සිට 12 දක්වා සිනමන් ලයිෆ් හිදී පැවැත්විණි.
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ප්‍රතිරක්ෂණකරුවන්, තැරැව්කරුවන්, තාක්ෂණික විශේෂඥයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ ව්‍යාපාරික නියෝජිතයින් ඇතුළු නියෝජිතයින් 500කට වැඩි පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. තවද ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර විශේෂඥයින් 13 දෙනෙකු සහ දේශීය නායකයින් 28 දෙනෙකු ඇතුළුව කථිකයින් 41 දෙනෙකු ද මෙයට සහභාගී වූහ.
මෙහි සමාරම්භක සමුළුව 2024 වසරේදී පැවැත්විණ. රක්ෂණ ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු කරගැනීම, වෘත්තීය සංවර්ධනය සහ ජාත්‍යන්තර ක්ෂේත්‍ර සහයෝගීතාව සඳහා වන කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති විශිෂ්ටත්වය තව දුරටත් ඉහළ නැංවීමට මෙවර SLIIS සමුළුව හේතු විය.
නිල සමාරම්භක උත්සවය සමඟින් අගෝස්තු 10 වන දින සමුළුවේ වැඩ කටයුතු ආරම්භ වූ අතර ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක් විය. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය එම අවස්ථාවට එක් වූයේ ගෞරවණීය ආරාධිතයින් ලෙසය. මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රය ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම, මූල්‍ය හැකියාව සහ දිගුකාලීන ආර්ථික සංවර්ධනය උදෙසා උපායමාර්ගික දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම කෙරෙහි විශේෂයෙන් සාකච්ඡාවට පාත්‍ර විය.
මෙම අවස්ථාවට එක් වෙමින් IASL හි සභාපති සහ HNB Life හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත් විමලරත්න මහතා ප්‍රකාශ කළේ, “අවදානම් තත්ත්වයන් දිනෙන් දින ඉහළ යමින් පවතින කාලයක ගෝලීය දැනුම සහ දේශීය අත්දැකීම් එකට එකතු කිරීමේ වටිනාකම මෙම සමුළුව තුලින් මනාව ප්‍රදර්ශනය වුණා. අවදානම්වලට මුහුණ දෙන අතරතුර ආර්ථික විශ්වාසය ගොඩනැඟීමට රක්ෂණ ක්ෂේත්‍රයට දායක විය හැක්කේ කෙසේදැයි සොයා බැලීම සඳහා SLIIS 2026 සමුළුව කදිම අවස්ථාවක් ලබා දුන්නා. වඩාත් ශක්තිමත් ආයතන, යහපාලනය, වගකීම් සහගත නවෝත්පාදනයන් මෙන්ම රක්ෂණකරුවන්, නියාමකයින්, රජයන් සහ ව්‍යාපාර අතර සමීප සහයෝගීතාවයක ඇති අවශ්‍යතාවය මෙම සාකච්ඡාවලින් පිළිබිඹු වුණා,” යනුවෙනි.
අගෝස්තු 11 වන දින දේශගුණික සහ ව්‍යවසන අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවකින් එහි තාක්ෂණික වැඩසටහන ආරම්භ වූ අතර පසුව පැවති කුඩා පරිමාණ රක්ෂණ සහ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ විශේෂ සාකච්ඡාව තුලින් පහසුකම් අවම ප්‍රජාවන් සහ සුළු ව්‍යාපාර වෙත ළඟා වීම සඳහා පහසු මිලට රක්ෂණ ආවරණ ලබාදීම, පහසු බෙදාහැරීමේ ක්‍රමවේද සහ හවුල්කාරිත්වයන් ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.
තාක්ෂණය ප්‍රමුඛ තේමාවක් බවට පත් වූ මෙම සමුළුවේදී කෘතිම බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය (automation) සහ දත්ත විශ්ලේෂණය (advanced analytics) ව්‍යාපාරයන්හිදී භාවිත කරන ආකාරය පිළිබඳ සාකච්ඡාවට ලක් විය. රක්ෂණ සමාගම්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, අවදානම් තක්සේරු කිරීම් ශක්තිමත් කිරීමට, පාරිභෝගික අත්දැකීම් වඩාත් පුද්ගලීකරණය කිරීමට සහ අභියෝගයන්ට වඩාත් ඵලදායී ලෙස මුහුණ දීමට තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. සමුළුවේ අවසන් දිනයේදී, ගෝලීය ජනගහන විපර්යාසයන් සහ වෙනස් වන ජීවන රටාවන් රක්ෂණ නිෂ්පාදන, බෙදාහැරීමේ ක්‍රමවේද සහ පාරිභෝගික සම්බන්ධතා කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ජීවිත හා සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ජීවිතයේ විවිධ අවධීන්හිදී ඉහළ මූල්‍ය සුරක්ෂිතතාවක් ලබා දෙන අතරම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ආකෘති වෙත රක්ෂණකරුවන්ට යොමු විය හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී. තවද, IFRS 17 සහ IFRS 9 ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, එම ප්‍රමිතීන් මඟින් රක්ෂණ කාර්යසාධනය, ලාභදායීතාවය සහ ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය මැනීම වෙනස් කර ඇති ආකාරය පිළිබඳව කථිකයන් කරුණු පැහැදිලි කළහ.
පාරිසරික, සමාජීය සහ යහපාලන (ESG) මූලධර්ම රක්ෂණ උපායමාර්ගයන් සමඟ සම්බන්ධ කිරීම පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව සමුළුව අවසන් විය.
ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ සහ විකුණුම් සංසදයේ සභාපති මෙන්ම Softlogic Life හි ජාතික බෙදාහැරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී රොෂාන් පීරිස් මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ පාරිභෝගිකයින්ගේ වෙනස් වන බලාපොරොත්තු, නව බෙදාහැරීමේ ක්‍රමවේද, ඩිජිටල් පරිවර්තනය, මූල්‍ය අන්තර්ගතභාවය මෙන්ම නව ජීවන රටාවන් සහ අවදානම්වලට ගැළපෙන නිෂ්පාදන සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්වීම්වලට හේතු වන බවයි.
SLIIS 2026 හි ව්‍යාපෘති සභාපති සහ Union Assurance හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා දේශීය මෙන්ම ගෝලීය පාර්ශවකරුවන්ට අර්ථවත් වෘත්තීය සබඳතා ගොඩනඟා ගැනීමටත්, අදහස් හුවමාරු කර ගැනීමටත්, අනාගත හවුල්කාරිත්වයන් පිළිබඳව සොයා බැලීමටත් හැකි පරිසරයක් මෙම සමුළුව මඟින් නිර්මාණය කර දුන බව පෙන්වා දෙන ලදී.
SLIIS 2026 සමුළුව හරහා ලබාගත් නව දැනුම සහ නිර්දේශ රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්වීම් පිළිබඳ අඛණ්ඩ සාකච්ඡාවලට මහඟු අත්වැලක් වනු ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සඳහන් කර සිටියි.





