කලක් කිසිඳු හව්හරණක් නොමැතිව දැයට බරක් වෙමින් තිබූ සීනි කර්මාන්ත ශාලාවක් නැවත ආරම්භ කරමින් එය ප්‍රදේශයේ ජනතාවගේ සැබෑ සංවර්ධනයේ සාධකය බවට පත් කිරීමට රාජ්‍ය – පුද්ගලික සහයෝගීතා ආයෝජනයකට හැකි විය. බොහෝ කාලයක් තිස්සේ වල් බිහිවෙමින් තිබූ වටිනා සම්පතක් වූ ගල්ඔය සීනි කර්මාන්තශාලාව යලි ඇරඹෙන්නේද එවන් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසිනි. එය සැබැවින්ම රාජ්‍ය සතු සම්පතක් ජනතාවගේ යහපත පිණිස පුද්ගලික අංශයේ දායකත්වයෙන් යලි නගා සිටුවීමේ ප්‍රයත්නයකි. ඒ ප්‍රයත්නයේ සැබෑ උරුමකරුවා ගල්ඔය වැවිලි සමාගමයි.

අම්පාරේ පිහිටි හිඟුරාණ සීනි කම්හල දස වසරකට ආසන්න කාලයක් තිස්සේ විනාශ වෙමින් කර්මාන්තයක නටබුන් බවට පත් වෙමින් තිබිණ. 1959 දී රජයේ ආයතනයක් ලෙස ආරම්භ වූ එම සීනි කර්මාන්තශාලාව 1991 දී පෞද්ගලික අංශයට පැවරුණද කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට ආයෝජනයන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව 1997 දී රජය විසින් සම්පූර්ණයෙන්ම වසා දමන ලද්දේ බොහෝ පිරිසකගේ ජීවිකාවට ප්‍රශ්නාර්ථයක් එක් කරමිනි. සීනි කම්හල එකම ආර්ථික ශක්තිය බවට පත්වූ ගල්ඔය ප්‍රදේශයේ දහස් ගණන් උක් ගොවි පවුල්වලට මෙම වසා දැමීම දැඩි පහරක් විය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර, වගා බිම් පාළුවට ගියේය. අවසානයේ ගොවි පරම්පරාවකටම ජීවත් වීම සඳහා වී වගාවට සහ වෙනත් කුලී වැඩවලට යොමු වීමට සිදු විය.
මෙය හුදෙක් කර්මාන්තශාලාවක් නැවත විවෘත කිරීමක් පමණක් නොවූ අතර සුවිසල් ආයෝජනයක් තුලින් අඛණ්ඩ ව්‍යාපාරයක් සිදු කිරීමේ එකඟතාවයකි. ඒ අනුව 2007 වසරේදී මෙරට ඉතිහාසයේ සුවිශේෂී රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයව් ඇති වූයේ ඒ අනුවය. එහිදී රාජ්‍ය අංශය 51% ක අයිතිය තබාගත් අතර, බ්‍රවුන්ස් සමාගම (Brown & Company PLC) සහ එල්.ඕ.එල්.සී. සමාගම (LOLC Holdings PLC) ඉතිරි 49% ක අයිතිය ලබාගත්තේ ගොවි ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීමද සමඟිනි. ඒ සමඟම කම්හල නැවත ගොඩනැගීමේ සහ එය පවත්වාගෙන යාමේ සම්පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරුණි.
කර්මාන්ත සඳහා කොපමණ ආයෝජනය කළද එය ඉදිරියට ගෙන යාමට නම් උක් කර්මාන්තය නගා සිටුවිය යුතු විය. ඒ වෙනුවෙන් උක් ගොවීන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය විය. එහෙත් ඒ වන විටත් විවිධ අවස්ථාවන්හිදී මහත් අසාධාරණයකට ලක්ව සිටි ගොවි ජනතාව තවත් ආයෝජනයක් පිළිබඳ විශ්වාසය තබන්නට අකමැති විය. ඒ ඊට පෙර විවිධ ආයෝජනයන් හමුවේ ඔවුන්ට මහත් පාඩු විඳීමට සිදු වූ බැවිනි.
කෙසේ වුවද මෙම අභියෝගය මනාව ජය ගැනීමට ගල්ඔය ප්ලාන්ටේෂන් සමත් වූයේ ගොවි ජනතාව තුල පැහැදිලි විශ්වාසයක් ජනිත කරමිනි. එහිදී මූලික වශයෙන් උක් කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔවුන් කටයුතු කළ ඔවුන් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය, ගොවි බිම් සඳහා ගමන් කරන මාර්ග ප්‍රතිසංස්කරණය වැනි දේ සිදු කරමින් නව ආයෝජනය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමටද පියවර ගන්නා ලදී. ප්‍රදේශයේ ආගමික නායකයින් සමඟ එක්ව ජනතාවට තව දුරටත් සමීප වෙමින් මෙම නව ආයෝජනය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ඉහළ නැංවීමටත් කටයුතු කරනු ලැබුවේ තමන් පිළිබඳව විශ්වාසයක් ඇති කරවමිනි.
මෙහි වගකීම භාර ගැනීමට මෙහිදී Browns සහ LOLC සමාගම් කටයුතු කරන ලදී. ඔවුන් එක්ව රාජ්‍ය වත්කමක් වූ මෙම කම්හල වෙත වෙනස්ම ආකාරයක ක්‍රමවත් පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීම මෙහි විශේෂත්වයක් විය. ඒ යටතේ සැලසුම්සහගත ව්‍යාපෘති කළමනාකරණය, කොටස් වෙළෙඳපොලේ ලියාපදිංචි සමාගම්වලින් බලාපොරොත්තු වන මූල්‍ය හා නීති හා රීතිවලට අනුකූල වීම සහ ඉහළ කළමනාකරණ ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කළහ.
මෙලෙස කම්හල දිගුකාලීනව පවත්වාගෙන යාමට කටයුතු කිරීම නිසා ගොවීන්ට මෙන්ම රජයටද මෙම ව්‍යාපාරය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති විය. මේ හේතුවෙන්, අක්‍රිය වී තිබූ සීනි කර්මාන්ශාලාව යලි නගා සිටුවමින් ප්‍රදේශයට පමණක් නොව සමස්ත රටටම වැදගත් මෙහෙවරක් ඉටු කිරීමට ගල්ඔය සීනි කර්මාන්ත ශාලාවට හැකි වී තිබේ. සැබැවින්ම මෙම ආයෝජනය රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයන් ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳ කදිම ආදර්ශයක් වනු නිසැකය.
දශක දෙකකට අධික කාලයක් තිස්සේ දිරාපත් වෙමින් තිබූ යන්ත්‍ර සූත්‍ර වෙනුවට නව්‍ය තාක්ෂණය පදනම් කර ගනිමින් පරිගණකගත කළ නවීන පිරිසැකසුම් පද්ධති සවි කිරීමට කටයුතු කළ ගල්ඔය වැවිලි සමාගම සීනි නිෂ්පාදනයෙන් නොනැවතී තවත් බොහෝ ආර්ථික සාධකයන් වෙත යොමු වී සිටියි. ඒ අනුව අද වන විට එතනෝල්, විදුලි බල උත්පාදනය සහ ජෛව පොහොර දක්වා පුළුල් වූ මහා පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපාරයක් බවට එය පත්ව තිබේ. වර්තමානයේ ගල්ඔය වැවිලි සමාගම යටතේ හෙක්ටයාර 8,500ක් පමණ වගා කරන අතර, 1,300කට ආසන්න පිරිසකට සෘජු රැකියා සපයයි. එමෙන්ම ක්‍රියාකාරී ගොවීන් 8,000ක් සමඟ හවුල්කාරීත්වයෙන් කටයුතු කරන අතර, මෙහි වක්‍ර ප්‍රතිලාභ ප්‍රදේශයේ 30,000කට අධික ජනතාවකට ලැබෙමින් පවතින්නේ ඔවුන්ගේ ජීවිතයට අරුණෝදයක් කැඳවාගෙන එමිනි.
කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි හා අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීමෙන් නොනැවතී ප්‍රදේශයේ වාරිමාර්ග, ජල පවහන සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය මෙන්ම ප්‍රදේශයේ පන්සල්, පල්ලි සහ මුස්ලිම් පල්ලි සඳහා සහයෝගය දැක්වීමටද ගල්ඔය ප්ලාන්ටේෂන්හි විශේෂත්වයකි. මෙයින් පෙනී යන්නේ මෙය හුදෙක් කාර්මික සබඳතාවක් පමණක් නොව, ප්‍රදේශයේ ජනතාව සමඟ ඇති කරගත් දිගුකාලීන බැඳීමක් බවයි. ජාතික මට්ටමෙන් ගත් කල, දේශීය සීනි කර්මාන්තය ශක්තිමත් වීම නිසා පිටරටින් සීනි ආනයනය කිරීම අඩු වන අතර, එමඟින් විදේශ විනිමය ඉතිරි කර ගනිමින් රටේ ගෙවුම් ශේෂයට ඇති වන පීඩනයද අවම වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ මෙලෙස වසා දමා ඇති හෝ අක්‍රිය වී ඇති ආජ්‍ය වත්කම් හා සුවිශේෂී කර්මාන්ශාලා ඕනෑ තරම්ය. රජය විසින් එහි බහුතර අයිතිය (51%) සහ දිගුකාලීන මහජන යහපත සුරකිමින්, මුදල් පමණක් නොව ක්‍රමවත් වැඩපිළිවෙළක්, නීතිමය අනුකූලතාවක් සහ අස්වැන්නෙන් අස්වැන්නට ජනතාවගේ විශ්වාසය ගොඩනැගීමට ඉවසීමක් ඇති පෞද්ගලික අංශයේ හවුල්කරුවෙකු සම්බන්ධ කරගන්නේ නම්, එම අක්‍රිය වත්කම් ලාභදායී ලෙස නැවත පණ ගැන්විය හැකි බව ගල්ඔය ව්‍යාපෘතියෙන් මනාව ඔප්පු කර පෙන්වයි. කම්හලේ යන්ත්‍ර සූත්‍ර නිහඬ වී දශක දෙකකට පමණ පසු, උක් වගාබිම් නැවතත් අලංකාර ලෙස කොළ පැහැයෙන් බබලන්නේ ඔවුන්ගේ මේ කැපවීම හේතුවෙනි. එමෙන්ම, කලක් අත්හැර දමා තිබූ මෙම වත්කම, මනාව සැලසුම් කරන ලද රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයකින් ළඟා කර ගත හැකි සාර්ථකත්වය පිළිබඳ කදිම ආදර්ශයක් බවට පත්ව ඇත.




