එළඹෙන ජූලි 17 වැනි දින සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමට නියමිත LPL තරඟාවලියේ 6 වන අදියරේදී Galle Gallants කණ්ඩායමේ හිමිකාරීත්වය Gallant Sports and Media LLC සමාගම සතු වන බව පසුගියදා නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී.
Kiran Mantripragada සහ Uday Kiran Namballa ගේ නායකත්වය යටතේ, Gallant Sports and Media LLC සමාගම විසින් මෙම කණ්ඩායමේ ක්රිකට්, වාණිජ සහ මාධ්ය උපාය මාර්ග මෙහෙයවනු ඇත. එමෙන්ම, ඉදිරි තරඟාවලියේදී කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස අත්දැකීම් බහුල පුහුණුකරුවකු වන පුබුදු දසනායක මහතා කටයුතු කිරීමට නියමිතය.
LPL තරඟාවලියේ තරඟකාරීත්වය, විකාශන සහ වාණිජමය වටිනාකම තවදුරටත් ඉහළ යමින් පවතින මේ මොහොතේ මෙම නව හිමිකාරිත්වය Galle Gallants කණ්ඩායමට සුවිශේෂී සංධිස්ථානයක් වනු නිසැකය. 6 වන තරඟාවලිය සඳහා දේශීය හා ජාත්යන්තර ක්රීඩකයින් රැසක් එක්වීමට නියමිත අතර, එමඟින් සංචාරක ව්යාපාරය, මාධ්ය, අනුග්රාහකත්ව, සත්කාරක සේවා සහ ප්රේක්ෂක සහභාගීත්වය යන ක්ෂේත්රවලට විශාල වටිනාකමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව කණ්ඩායම ඉදිරි තරඟාවලිය වෙත සාදරයෙන් පිළිගනිමින් LPL තරඟාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේ “ශ්රී ලංකා ක්රිකට් ආයතනය 6 වන LPL තරඟාවලිය සඳහා Galle Gallants කණ්ඩායම ඉතා සාදරයෙන් පිළිගන්නවා. මෙවැනි කැපවීමක් ඇති හිමිකරුවන් දිගින් දිගටම එකතු වීම මෙම තරඟාවලියේ දිගුකාලීන දැක්ම ශක්තිමත් කරනවා. එමෙන්ම ශ්රී ලංකාව තුළ වඩාත් තරඟකාරී සහ වාණිජමය වශයෙන් සාර්ථක T20 තරඟාවලියක් නිර්මාණය කිරීමට එය උදවු වෙනවා. Galle Gallants කණ්ඩායම මෙම තරඟාවලියේ ගුණාත්මකභාවය, ජනප්රියත්වය සහ ක්රීඩාශීලීත්වය ඉහළ නැංවීමට දායක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
Galle Gallants කණ්ඩායම 6 වන LPL තරඟාවලියට සහභාගී වන්නේ urban-gro Inc and Flash Sports & Media, Inc, සමාගම්වලට අයත්, Innovative Production Group FZ LLC වේදිකාව මඟින් ක්රියාත්මක වන ලීග් පද්ධතිය යටතේය. කණ්ඩායම Gallant Sports and Media LLC යටතේ ස්වාධීනව පාලනය වන අතර, 2026 තරඟ වාරය හරහා නිර්මාණය වන පුළුල් ලීග් ව්යුහය සහ වාණිජමය අවස්ථාවන් සමඟ සමගාමීව කටයුතු කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ අදහස් දක්වමින් IPG Global සමාගමේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා “ LPL තරඟාවලිය ජාත්යන්තර අවධානය දිනාගත්, වටිනා ක්රිකට් සහ විනෝදාස්වාද සන්නාමයක් ලෙස අඛණ්ඩව දියුණු වෙමින් පවතිනවා. නව හිමිකාරිත්වය යටතේ Galle Gallants කණ්ඩායම එක්වීමෙන් පෙනී යන්නේ ආයෝජකයින්ට සහ ක්රීඩා ව්යවසායකයින්ට මෙම ලීගයේ අනාගතය පිළිබඳව ඇති විශ්වාසයයි. ශක්තිමත් කණ්ඩායම් සහභාගීත්වයක්, ගෝලීය ක්රිකට් දක්ෂතාවන් සහ ශ්රී ලංකාවට වැදගත් වාණිජ අවස්ථාවන් රැගෙන එන මෙවර තරඟ වාරයට සහයෝගය දීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.” යනුවෙන් පැවසීය.
තම කණ්ඩායම ශක්තිමත් කිරීමේ උපාය මාර්ගයක් ලෙස, ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම 6 වන LPL ක්රීඩක වෙන්දේසියට පෙර ශ්රී ලංකාවේ දක්ෂ ක්රීඩකයින් සහ ලොව ප්රමුඛ පෙළේ ජාත්යන්තර ක්රීඩකයින් වන ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, සකීබ්, සහිබ්සාදා ෆර්හාන්, සුනිල් නරේන් සහ රමනුල්ලා ගුර්බාස් ජාත්යන්තර ක්රීඩකයින් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත්, ක්රීඩකයින් කණ්ඩායමට බඳවා ගැනීම වෙන්දේසියේ ප්රතිඵල, ක්රීඩක ලියාපදිංචිය, ගිවිසුම්ගත වීම්, අදාළ ක්රිකට් පාලක මණ්ඩලවල අනුමැතිය සහ විරුද්ධත්වයක් නොමැති බවට වන සහතික මත තීරණය වේ.
දේශීය ක්රීඩක සහභාගීත්වය, මෙහෙයුම් සැලසුම් සහ කණ්ඩායමේ දිගුකාලීන සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ශ්රී ලංකාවේ උපත ලැබූ ඇමරිකානු ක්රිකට් ක්රීඩකයෙකු වන රෝයි සිල්වා මහතා උපායමාර්ගික හවුල්කරුවෙකු සහ ප්රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කණ්ඩායමට එක් කර ගෙන ඇත. එමෙන්ම, ක්රිකට්, මාධ්ය, අනුග්රහකත්ව සහ ප්රේක්ෂක සහභාගීත්වය හරහා Galle Gallants සන්නාමය ශක්තිමත් කිරීමේ අරමුණින් Sharath Sriramoju මහතා ප්රධාන උපායමාර්ගික නිලධාරියා ලෙස පත් කර තිබේ.
Gallant Sports and Media LLC සමාගමේ හිමිකරු සහ ප්රධානී Kiran Mantripragada මහතා මෙහිදී අදහස් දක්වමින් “ Galle Gallants කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගැනීම, ශ්රී ලාංකීය දක්ෂතා මුල් කරගත්, ජාත්යන්තර අත්දැකීම්වල සහය ලබන සහ ශක්තිමත් ක්රිකට් නායකත්වයකින් මෙහෙයවන විනයගරුක මෙන්ම තරඟකාරී කණ්ඩායමක් බිහිකිරීම වෙනුවෙන් වූ දිගුකාලීන කැපවීමක් ලෙස පෙන්වා දිය හැකියි. LPL තරඟාවලිය ක්රීඩාව දියුණු කිරීමට, වාණිජමය වටිනාකමක් ගොඩනැඟීමට සහ ශ්රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට ඇති ප්රබල වේදිකාවක් ලෙස අප දකිනවා.
අපගේ ඉලක්කය වන්නේ නිශ්චිත අරමුණක් ඇතිව ක්රීඩා කරන හා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට යහපත් දායකත්වයක් ලබා දෙන කණ්ඩායමක් නිර්මාණය කිරීමයි.” යනුවෙන් පවසා සිටින ලදී.
දක්ෂතා, ප්රජා සැබැඳියාව සහ වාණිජමය හවුල්කාරිත්වයන් මත පදනම් වූ, තිරසාර ක්රිකට් සහ ක්රීඩා මාධ්ය ව්යාපාරයක් ගොඩනැඟීම කෙරෙහි කණ්ඩායමේ අවධානය යොමු කරන බව එහි හිමිකාරීත්ව මණ්ඩගය පවසා සිටියි. කණ්ඩායම තේරීම, ක්රීඩකයින් තහවුරු කිරීම, නව හවුල්කාරිත්වයන් සහ ප්රේක්ෂකයින් සම්බන්ධ කරගැනීමේ වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු තරඟාවලිය ආරම්භ වීමට පෙර නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිතය.



