ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික විපත් අවදානම් වර්ධනය වීමත්, ඒවා දරිද්‍රතාව, සංවර්ධන සැලසුම් සහ රාජ්‍ය මූල්‍ය ස්ථායීභාවයට ඇති කරන බලපෑම් පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඊයේ (26) නාවල, විවෘත විශ්වවිද්‍යාලයේදී පැවති උසස් මට්ටමේ ප්‍රතිපත්ති සංවාදයකදී සිදු කෙරිණි.
“අනාගතයට මුහුණ දීම: ශ්‍රී ලංකාවේ පාරිසරික විපත් සහ දරිද්‍රතාව” යන මාතෘකාව යටතේ පැවති මෙම සංවාදය, දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ (CEPA) ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාරිසරික අධ්‍යයන හා තිරසාර සංවර්ධන මධ්‍යස්ථානය සමඟ එක්ව සංවිධානය කර තිබිණි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රතිසාධන මංසන්ධියේ සිටින රටක් ලෙස, දිත්වා සුළි කුණාටුව ඇතුළු අඛණ්ඩ කාලගුණික ආතතීන් නිසා වැඩිවන අවදානම් පසුබිමකදී මෙම සංවාදය පැවැත්වීම විශේෂත්වයකි.
පශ්චාත් ව්‍යසන කළමනාකරණ මූල්‍ය සම්පාදනය පිළිබඳ අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බලෙන්ද්‍ර මහතා පැවසුවේ, පුද්ගලික අංශයේ භූමිකාව ප්‍රධාන වශයෙන් මුදල් රැස් කිරීමේ ක්‍රියාවලියට සීමා වන අතර, ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා තීරණය කිරීම රජයේ වගකීමක් බවය. ආර්ථික අර්බුදයෙන් පසු රජය පවත්වාගෙන ආ මූල්‍ය විනය හේතුවෙන් හදිසි වෙළෙඳ ණය ගැනීම් වලට යාමකින් තොරව අත්‍යවශ්‍ය සහන සපයන්නට හැකිවූ බව ද ඔහු සඳහන් කළේය. “රීබිල්ඩිං ශ්‍රී ලංකා” අරමුදල හරහා මෙතෙක් රු. බිලියන 8.4කට අධික මුදලක් පුද්ගලික අංශයෙන් රැස් කර ඇති අතර, විදේශීය හවුල්කරුවන්ගේ අනුමතීන් අවසන් වීමත් සමඟ තවත් දායකත්ව අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියේය.
විද්වත් කථිකාව සඳහා සහභාගී වූ කථිකයින් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ අපදා අවදානම් වැඩි වීමට සංවර්ධන සැලසුම් වල දුර්වලතා සහ ආයතනික සම්බන්ධීකරණයේ හිඟය ප්‍රධාන හේතුවක් වන බවය. මොරටුව විශ්වවිද්‍යාලයේ ජගත් මුණසිංහ මහතා පැවසුවේ, සැලසුම් සහ ආයතන බහුල වුවද, ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා සහ සම්බන්ධීකරණ හිඟය මූලික ගැටලුව බවය. දශක ගණනාවක් පුරා ගංවතුර, නායයෑම් වැනි විපත් වලට මුහුණ දී තිබුණත්, පෙර අවදානම් සහ හානි ඇස්තමේන්තු නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් “නැවත හොඳින් ගොඩනැගීම” යන සංකල්පය යථාර්ථයක් කර ගැනීමට නොහැකිවී ඇති බව ද ඔහු අවධාරණය කළේය.
දේශගුණික බලපෑම් ආර්ථිකයට ඇති කර තිබෙන බලපෑම පිලිබඳව ආර්ථික විද්‍යාත්මක අදහස් දක්වමින් හේරත් ගුණතිලක මහතා පැවසුවේ, කාලගුණික විපත් ගෝලීය දේශගුණික වෙනස්වීම් සමඟ විද්‍යාත්මකව සම්බන්ධ වන බවය. ගෝලීය මට්ටමේ දේශගුණික පාලන පද්ධති දුර්වල වෙමින් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවට ගෝලීය වායු විමෝචන ප්‍රතිඵලවලට බලපාන්නට ඇති හැකියාව සීමිත බවත්, එබැවින් ජාතික ප්‍රතිපත්ති තුළ අනුගත වීම, තිරසාරත්වය සහ අපදා සූදානම ප්‍රමුඛ කර ගත යුතු බවත් ඔහු කියා සිටියේය.
පාරිසරික නියාමන සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ගැටලු මතු විය. මධ්‍යම පාරිසරික අධිකාරියේ උපායමාර්ගික පාරිසරික ඇගයීම් අංශයේ අධ්‍යක්ෂ කුසලා මහලේකම මහත්මිය පැවසුවේ, විශේෂයෙන් යටිතල පහසුකම්, ජලසම්පාදන සහ ශක්ති ව්‍යාපෘති වලදී පාරිසරික බලපෑම් ඇගයීම් (EIA) කොන්දේසි අධීක්ෂණය කිරීමේදී හැකියාවන් සීමිත බවය. ජාතික සහ කලාපීය මට්ටමින් උපායමාර්ගික පාරිසරික ඇගයීම් (SEA) පුළුල් කිරීම මඟින්, අවදානම් පරිසර පද්ධති සහ ප්‍රජාවන් වඩා හොඳින් හඳුනාගත හැකි වන බවත්, එය අපදා අවදානම් අඩු කිරීමට වැදගත් බවත් ඇය සඳහන් කළාය.
පාරිසරික අවදානම් සහ දිගුකාලීන සංවර්ධන ගැටලු එකිනෙකට බැඳී ඇති බවට අවධානය යොමු කළ CEPA විධායක අධ්‍යක්ෂ සිරිමල් අබේරත්න මහතා පැවසුවේ, සීමිත නාගරීකරණය සහ කාර්මිකරණය හේතුවෙන් ජනගහනයෙන් සියයට 78.5ක් පමණ තවමත් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන බවය. ගඟබඩ, වෙරළ තීර, නායයෑම් අවදානම් කලාප වැනි පාරිසරිකව සංවේදී ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් වාසය කිරීම, විපත් අවදානම් තවදුරටත් වැඩි කරන බවත්, එබැවින් ස්ථානීය සැලසුම්, නාගරික සංවර්ධනය සහ ජීවනෝපාය විවිධීකරණය මඟින් ජනතාවගේ අවදානම් නිරාවරණය අඩු කිරීම ප්‍රධාන අරමුණ විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ආරම්භක දේශනය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබොටා මහත්මිය පැවසුවේ, ජාතික මට්ටමින් නායකත්වය දරන ඇගයීම් සහ ප්‍රතිසාධන රාමු වල වැදගත්කමයි. විවිධ අපදා පසු ඇගයීම් මෙවලම්වල අරමුණු වෙනස් වන අතර, ඒවා එකිනෙක සමඟ සෘජුව සසඳා බැලිය නොහැකි බවත්, ශ්‍රී ලංකාවේ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මුදල් අමාත්‍යාංශය විසින් මෙහෙයවන Post-Disaster Needs Assessment (PDNA) ක්‍රියාවලිය, හදිසි මූල්‍ය සැලසුම් සහ “නැවත හොඳින් ගොඩනැගීම” සඳහා වඩාත් සම්පූර්ණ ජාතික මෙවලමක් බවත් ඇය සඳහන් කළාය.
CEPA ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතාගේ මධ්‍යස්ථතාවයෙන් පැවති මෙම සංවාදයේදී, අපදා අවදානම් අඩු කිරීම සංවර්ධන සැලසුම් තුළ ගැඹුරින් ඒකාබද්ධ නොකළහොත්, කාලගුණික ආඝාතයන් රටේ ප්‍රතිසාධන ජයග්‍රහණයන් අවදානමට ලක් කරමින් රාජ්‍ය මූල්‍ය සහ ජන ජීවිත මත නැවතත් දැඩි පීඩනයක් ඇති කළ හැකි බවට එකඟතාවය පළ විය.




