සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේදී 7% ක ඉහළ ආදායම් වර්ධනයක් සමඟින් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2025 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත ආදායමට ද එම අංශය විශාල වශයෙන් දායක විය.

සමූහය 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 59.3 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 7.0%ක වර්ධනයකි. මෙම කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් සුව සේවා අංශයෙන් විශාල දායකත්වයක් ලැබුණු අතර එය සමූහයේ මුළු ආදායමෙන් 55.0% ක් විය. එමෙන්ම සමූහයේ ආදායමට පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර අංශ පිළිවෙලින් 31.6% ක් සහ 13.4% ක් ලෙස දායක වූ අතර ඉන් සමූහයේ සමබර හා විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතිය පෙන්නුම් කරයි.

සුව සේවා ව්‍යාපාරයේ වර්ධනය සහ කෘෂි ව්‍යාපාරවල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ යාම හේතුවෙන් සන්ෂයින් සමූහයේ මෙහෙයුම් ලාභය (EBIT) පසුගිය වසරට සාපේක්ෂව 7.1% කින් රුපියල් බිලියන 9.3 දක්වා ඉහළ ගියේය. පාරිභෝගික අංශයේ ලාභය අඩු වුවද සමූහය සිය සමස්ත ආදායමෙහි 15.7% ක් මෙහෙයුම් ලාභයක් (EBIT) ලෙස තවදුරටත් පවත්වා ගැනීමට සමත් විය.
සමූහයේ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 5.9 දක්වා සුළු වශයෙන් අඩු විය. කෘෂි ව්‍යාපාර අංශයට අදාල බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් හා පාරිභෝගික අංශයේ ලාභය මත පවතින පීඩනයත් හේතුවෙන් අදායම් බදු ගාස්තු 48.9%කින් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “2025 මූල්‍ය වර්ෂය සන්ෂයින් සමාගමට වැදගත් වසරක් වූ අතර අපගේ ප්‍රධාන ව්‍යාපාරික අංශ හරහා අප ශක්තිමත් කාර්යසාධනයක් හා වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. එහිදී සුව සේවා අංශය ශක්තිමත් වර්ධනයක් සහ ඉහළ ලාභයක් වාර්තා කරමින් හොඳින් ක්‍රියාත්මක වුණු අතර අපගේ පාරිභෝගික හා කෘෂි ව්‍යාපාර අංශ වෙනස්වන වෙළඳපල තත්ත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වීමට සමත් වුණා. ඉහළ ලාභයක් පවත්වා ගැනීමේදී අභියෝගවලට මුහුණ දීම සහ වෙළඳපොළ ඉල්ලුම වෙනස් වුවද සමූහය ස්ථාවර ඉපැයීම් පවත්වා ගෙන ගිය අතර දිගුකාලීන වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගනු ලැබුවා.” යනුවෙනි.
“ඉදිරිය දෙස බලන විට, අපගේ ඉහළම ක්‍රියාකාරී අංශ පුළුල් කිරීම, නවෝත්පාදන සහ නිෂ්පාදන ධාරිතාව සඳහා ආයෝජනය කිරීමට මෙන්ම ප්‍රධාන දේශීය හා අපනයන වෙළඳපොළවල අපගේ පැවැත්ම වර්ධනය කිරීම කෙරෙහි අපි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා. අපගේ අනාගතය පිළිබඳව අපි විශ්වාසයෙන් සිටින අතර කොටස් හිමියන්ට සහ අපගේ ජනතාවට දිගුකාලීන වටිනාකමක් ලබා දීමට කැපවී සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සුව සේවා අංශය
2025 මූල්‍ය වසරේදී සුව සේවා අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.3% කින් වර්ධනය වී රුපියල් බිලියන 32.6 ක් විය. මෙයට ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ, ෆාමසි සහ ඖෂධ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම ඇතුළත් විය. මෙම ආදායම් වර්ධනය මගින් මෙම අංශයේ ලාභදායීත්වය වර්ධනය විය. ඒ අනුව සුව සේවා අංශයේ මෙහෙයුම් ලාභය (EBIT) 2024 වසරේ වාර්තා කළ 15.5% සිට 2025 මූල්‍ය වසරේදී 16.9%ක් දක්වා වැඩි වී ඇත.

ප්‍රධාන වෛද්‍ය ප්‍රතිකාරවල වැදගත් ක්ෂේත්‍ර හරහා අලෙවි කරන ලද ඖෂධ ප්‍රමාණය අඛණ්ඩව වැඩි වීම හේතුවෙන් ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව 14.3% ක වර්ධනයක් පෙන්නුම් කළේය. මේ අතර Healthguard Distribution විසින් Cipla සහ Micro Labs වැනි සමාගම් සමඟ නව හවුල්කාරීත්වයන් ඇති කරගත් අතර එමඟින් FY25 ආදායම 23.9% කින් වර්ධනය විය. පාරිභෝගික වෙළෙඳාම් අංශය වන හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම සලකා බලනු ලබන කාල පරිච්ඡේදය තුළ 9.2% ක වර්ධනයක් වාර්තා කළේය.

සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 69.2% ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) නිෂ්පාදන ඉහළ යාම මෙයට හේතු විය. සමාගම විසින් 2024 වසර සඳහා රජයේ සමස්ත MDI අවශ්‍යතාවය සපුරාලන ලදී.

පාරිභෝගික අංශය
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම 3.0% කින් පහළ ගොස් රුපියල් බිලියන 18.7 ක් වාර්තා කර ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වසරේ පළමු අර්ධයේ දේශීය ඉල්ලුම අඩු වීමයි. සන්නාමගත තේ සහ රසකැවිලි ව්‍යාපාරවලින් ලැබෙන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 12.7% කින් පහත වැටුණි.
සන්නාමගත තේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 1.6% කින් සුළු වශයෙන් වැඩි වූ නමුත් වැට් බද්ද ආශ්‍රිත මිල සම්බන්ධයෙන් ඇති වූ පීඩනය හේතුවෙන් පළමු අර්ධය තුළ ආදායම 8.8% කින් පහත වැටුණි. පාරිභෝගික මිලදී ගැනීම් අඩුවීම සහ තරඟකාරිත්වය වැඩි වීම හේතුවෙන් රසකැවිලි ව්‍යාපාරයට බලපෑම් එල්ල වූ අතර එය 2025 මූල්‍ය වර්ෂය සඳහා ආදායම 28% කින් අඩු වීමට හේතු විය. කෙසේ වෙතත් ප්‍රධාන සේවාදායකයින්ගේ දැඩි ඉල්ලුම හේතුවෙන් සමූහයේ අපනයන ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව 19.1% කින් වර්ධනය විය.

කෘෂි ව්‍යාපාර අංශය
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම 2025 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 7.9 ක ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 4.5% ක පහත වැටීමකි. කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරයේ දුර්වල ක්‍රියාකාරිත්වය මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු විය. එමෙන්ම පාම් ඔයිල් නිෂ්පාදනය අඩු වීම නිසා පාම් ඔයිල් ව්‍යාපාරයේ ආදායමෙහි සුළු පහත වැටීමක් ද දක්නට ලැබුණි.
කෘෂි ව්‍යාපාර අංශයේ මුළු ආදායම පහත වැටුණද ලාභය වර්ධනය විය. පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) වෙනස 2024 මූල්‍ය වර්ෂයේ 32.0% ට සාපේක්ෂව 2025 මූල්‍ය වර්ෂයේදී 36.2% දක්වා ඉහළ ගියේය. මෙම ඉහළ ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාම් ඔයිල් ව්‍යාපාරයේ පිරිවැය කළමනාකරණයයි.

ඒක්සත් ජනපද බදු ප්‍රතිපත්තිය සහ...
සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම...
MullenLowe’s Harendra Uyanage awarded the...
TVS Motor announces Sudarshan Venu...
இயற்கை அழகு நிறைந்த கொழும்பில் மிகச்...
සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේදී...
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපායමාර්ගික...
සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේදී...
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපායමාර්ගික...
Empowering Sri Lanka’s Apparel sector...