දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි (“Navigating a New Dimension for Youth in Sri Lanka”)

Share

Share

Share

Share

කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ තකශුමී කඩෝනො, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. මහේෂන් සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හේරත් ගුණතිලක යන මහත්වරුන් සහභාගී වූහ. මෙහිදී සිදු කෙරුණු සමීක්ෂණය සඳහා අවු. 15ත් 29ත් අතර වයසේ පසුවන වාර්ගික සහ විවිධ ආර්ථික පසුබිමක් සහිත තරුණ තරුණියන් සියයක් පමණ දායක කරගන්නා ලදී. මොවුන් රාජගිරිය, සපුගස්කන්ද, ඒළුවන්කුලම (පුත්තලම), සහ යටියන්තොට යන ප්‍රදේශයන් හි ජීවත් වන්නෝ වූහ. මෙම සමීක්ෂණයට සමගාමීව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය ජනගත කිරීමද සිදු කෙරිණ. ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ දායකත්වය ලබා දුන් අතර දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ධාරිතා සංවර්ධනය සහ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම මහත්මියගේ අධීක්ෂණයෙන් මෙම සමීක්ෂණය සහ වාර්තා චිත්‍රපටය නිර්මාණය විය.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් දියත් කළ මෙම සමීක්ෂණය තුළ ශ්‍රී ලංකාව ගමන් කරන දිශානතිය පිළිබඳව තාරුණ්‍යයේ අදහස, වර්තමාන අධ්‍යාපන අවස්ථා සහ අධ්‍යාපනය ඇසුරේ අනාගත අරමුණු, මුහුණ දී සිටින ආර්ථික අභියෝග, මෙරට තුළ සහ ඉන් පරිබාහිර රැකියා ප්‍රවේශය සහ රැකියා ක්ෂේත්‍ර යන කරුණු පිලිබඳව තාරුණ්‍යයේ මතය පිළිබිඹු විය.

තාරුණ්‍යයේ අභිමතාර්ථයන් කැටි වූ මෙම වාර්තා වැඩසටහන දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, සමාජ මානව විද්‍යාඥ ආචාර්ය ඉන්දිකා බුලන්කුලම සහ වාර්තා වැඩසටහන් සම්පාදනයෙහි විශේෂඥ ආචාර්ය සමීර තිලකවර්ධන විසින් නිර්මාණය කරන ලදී. වාර්තා චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව පැවති බුද්ධිමය සංකථනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකශුමී කඩෝනො, ක්‍රීඩා සහ තරුණ කටයුතු ආමාත්‍යංශයේ ලේකම් ඒස්.මහේෂන් සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හේරත් ගුණතිලක, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර, හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි සහ hSined ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එමෙන්ම තාරුණ්‍යයේ නියෝජනය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථ මිතාසිනි රත්නායක සහ කොළඹ රාජකීය විදුහලේ දේවේන්ද්‍ර දේශාන් විසින් සිදු කරන ලදී. මෙම බුද්ධිමය සංකථනය තුළින් තාරුණ්‍යයේ සිහින ජය ගැනීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සිදු විය යුත්තේ කෙසේද?, ඉදිරි වසර 30කට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනෙස් විය යුත්තේ කෙසේද?, ඉදිරි වසර 30 තුළ රැකියා වෙළෙඳපොළ තුළ සිදුවන වෙනස්කම්වලට අනුරූපව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හැකියාවන් සහ නිපුණතාවන් වෙනස් විය යුත්තේ කෙසේද? යන කරුණු පිලිබඳව න්‍යායාත්මක සහ ප්‍රයෝගික ප්‍රවේශයන් තුළින් කරුණු සාකච්ඡාවට ලක් විය. තවද මෙම අවස්ථාවට සහභාගී වූ විවිධ වෘත්තීය ධාරාවන් නියෝජනය කරන සහ තවමත් සරසවි සහ පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ ගැටලු සඳහා ද ප්‍රශස්ත විවරණයක් ලබා දීමට බුද්ධිමය සංකථනය තුලින් උත්සාහ දැරිණ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත දරිද්‍රතා විශ්ලේෂණය කේන්ද්‍රය විසින් සිදු කළ මෙව පර්යේෂණාත්මක වෑයම පිළිබඳ අදහස් දැක්වූ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී සමාජ මානව විද්‍යාඥ ආචාර්ය ඉන්දිකා බුලන්කුලම “කොවිඩ් අර්බුදය සහ ඉන් අනතුරුව අප මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට තාරුණ්‍ය අභියෝග ගණනාවකට මුහුණ දුන් අතර අවාසනාවකට මේ පිලිබඳව වඩාත් ප්‍රශස්ත තොරතුරු ගවේශණයක් සිදු වූයේ නැහැ. එබැවින් මෙම සමීක්ෂණයෙහි අරමුණ වූයේ වර්තමාන තාරුණ්‍යයේ අනාගත අභිමතාර්ථ සහ වර්තමාන ලංකාව ගමන් කරන දිශානතිය ඔවුන්ගේ අභිමතාර්ථ සමග සමපාත වන්නේද නොඒසේ නම් එම දිශානතිය වෙනස් විය යුත්තේ කෙසේද? යන්න පිලිබඳව විද්‍යාත්මක ප්‍රවේශයකින් කරුණු විමසා බැලීමයි. රටක අනාගතය භාර ගැනීමට සිටින පිරිස පිලිබඳව වඩාත් සංවේදී වෙමින් ඔවුන් මුහුණ දෙන ගැටලු සඳහා පිලියම් යෙදීම වැඩිහිටියන් ලෙස අප සියලු දෙනාගේ වගකීමක් යන සමාජ පණිවිඩය මෙම බුද්ධිමය සංකථනය ඔස්සේ ජනගත කිරීම අපගේ ප්‍රමුඛතම වෑයම බව කිව හැකියි.” යනුවෙන් පැවසීය.

 

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...